සිංහලහින්දු අලුත් අවුරුදු උත්සවය ළඟ ළඟම ආවත් ඉස්සර තරම් දැන් අපිට අලුත් අවුරුද්ද නොදැනෙන්නේ ඉස්කෝලේ යන කාලේ වගේ දැන් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු නො දෙන නිසාය. රස්සාවට ආවාම අලුත් අවුරුද්ද නිවාඩු දවසක් කියන එක ද වෙනස් වුනේය. නමුත් පහුගිය අලුත් අවුරුද්ද දවසේ අපිට නිවාඩු ලැබුණේය. ඒ නිසා පන්සල් යන්නත් ගෙදර අය එක්ක කාලය ගත කරන්නත් ඉඩ ලැබුණේය.
අලුත් අවුරුදු හෝ ලංකාවේ උත්සව සමයක් කියන්නේ බැංකුවල වැඩ කරන අපට වැඩ වැඩිම කාලයක් ය. ඒ මුදල් සමග කටයුතු කරන අපට ගණුදෙනුකරුවන්ගේ මුදල් අවශ්‍යතා වෙනුවෙන් වෙනදාට වැටුප් දිනවල වෙහෙස වෙනවාට වඩා වෙහෙස විය යුතු වන නිසාය.
බැංකු තුල විශාල වශයෙන් මුදල් ලබා ගැනීමට පෝලිම් දක්නට ලැබෙන අතර බැංකුවෙන් පිටත ඒටීඑම් යන්ත්‍ර අසලද දිගු පෝලිම්ය. එකම යන්ත්‍රයට දවසට කීප වතාවක් මුදල් යොදන අවස්ථාද තිබෙන්නේය. ඒ තරමට මුදල් ගැනීම් වැඩිය. ඒ නිසා බොහෝ බැංකු වෙනදාට වඩා වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරමින් තමන්ගේ ගණුදෙනුකරුවන්ට තම මිලදී ගැනීම් සඳහා තමන්ගේ ඒටීඑම් ඩෙබිට් කාඩ් පත හෝ ක්‍රෙඩිට් කාඩ් පත පාවිච්චි කරන්නැයි දැනුම් දෙන්නේ හැමගේම පහසුවටය.
බැංකු ගිණුමෙන් මුදල් ගැනීමට පෝලිමේ සිට ලබා ගන්නා මුදල් රැගෙන ගොස් සාප්පු සවාරි කර බැංකුවෙන් ගත් මුදල් වලින් බිල්පතේ මුදල් ගෙවීමට ත් පෝලිමේ සිටීමට වඩා පහසු ක්‍රම දැන් තිබෙන නිසාය. බිල්පතේ මුදල් ගෙවීමේදී මාරු සල්ලි ප්‍රශ්නය පැන නැඟීමත් මුදල් ආරක්ෂා කර ගැනීමත් අනවශ්‍ය වන්නේය. (මුදල් ගොඩක් ගෙනියන අයට 5000 කොළ රැගෙන යා හැකිය.එවිට ආරක්ෂා කළ යුතු මුදල් නෝට්ටු ගණන අඩුය. එක කොළයක් නැතිවූ විට පාඩුව වැඩිය.)
බිලේ වටිනාකම 5000 න් හරියටම බෙදෙන ගුණාකාරයක් වෙන්නේ කලාතුරකිනි. එනිසා ඉතිරි මුදල් දෙන්නට වෙන්නේ පොඩි සල්ලි වලිනි. කවුන්ටරේ නංගි හෝ මල්ලි රුපියල් 5ක් දෙන්න පුලුවන්ද 55ක් දෙන්න පුලුවන්ද කියා අසනවිට ෂොපින් කරන කෙනාට තරහා යයි. ඉතින් සෙනඟ මැද්දේ අර කවුන්ටරේ කෙනාට බණින්නේය . නැතිනම් මාස ගාණක් සුද්ද නොකළ තමන්ගේ බෑග් එක නැතිනම් පොකැට්ටුව ඇර අඩිය එළියට හරවා මාරු සල්ලි හොයන්නේය. සාප්පු වල සෙනඟ ගැවසෙන වෙලාවක් නිසා තව කීපදෙනෙකුගේ බිල්පත් වල වෙලාව අපතේය. ඉතින් කාඩ් එකෙන් ගෙවන්න කියා ඇඩ් දාන්නේත් කාඩ් එකෙන් ගෙවද්දී වට්ටම් දෙන්නේත් ඒ නිසාය. ඒ අන්තිම රුපියල දක්වාම ඉක්මනින්ම කාඩ් එකෙන් ගෙවන්න පුලුවන් නිසාය.
සමහර ගණු දෙනු කරුවන්ට තමන්ගේ කාඩ් එකෙන් දවසට ගන්න පුලුවන් 40000 යි 50000 යි කියලා හිතේවි. ඒ නිසා සල්ලි බැංකුවෙන් අරන් යන්න ඕනෑ යයි කියාවි. නමුත් එක බිලකට රුපියල් 30000ට වඩා වියදම් කරන්නේ එහෙමත් කෙනෙකි. ඒ අයට අනිවාර්යෙන්ම ක්‍රෙඩිට් කාඩ් තිබෙන අතර දෛනික ගණුදෙනු සීමාව 40000ට බෙහෙවින් වැඩිය. ඒ නිසා ෂොපිං කරන්ද්දී කාඩ් එකෙන් ගෙවු විට වියදම ඉලක්කම් වලින් විතරක් දකින නිසා කීයක් වියදම් වුනාදැයි නොදැනේ. ඒ නිසා ඉළඟ මාසෙ කොහොම ජීවත් වුනත් දුකක් නැතිව ෂොපිං කළ හැක. ගිණුමේ මෙච්චර තිබුනා කියලා හිතෙන්නේ වියදම අඩු කර ගන්න නොව වියදම සාධාරණීකරණය කිරීමටත් ගෙවිය හැකි බව තහවුරු කර ගැනීමටත්ය. සාක්කුවට පාඩුවක් නැත.රෙදි සාප්පුවටත් පාඩුවක් නැත. අද කාලා එපැයි හෙට කන්න.
ඉස්සුවේ www.boc.lk |
පලි- ෂොපිං කරද්දී පොකැට්ටුව පරිස්සම් කරනා තරම් සැලකිල්ලෙන් කවුන්ටරේ අසළ පෝලිමේ තමන්ගේ තැන ආරක්ෂා කරගන්න. අද මම ෂොපිං කරත්දී මට කලින් සිටි අයගේ බිල දමන තුරු කවුන්ටරේට ඇතිල්ලෙමින් සිටීම හරි නැතැයි සිතා අඩියක විතර ඉඩක් තබාගෙන සිටියෙමි. එක්වරම දෙදෙනෙක් මට ඉස්සරහින් හිටගෙන "එහා පැත්තෙ පෝලිමට ගියේ නැත්තෙ හොඳ වෙලාවට" යි කතා වෙනු ඇසුණි. අනික් කෙනා කීවේ "එතැන හිටියනම් ගොඩක් වෙලා යාවි" කියාය. මම ඒ මිස්ලා දෙන්නාට කතා කර "මිස් ඉක්මනට යන්න පුලුවනි. ඒත් පිළිවෙලක් තියෙනවා" කී විට "පෝලිමක් තිබුණද. සොරි අපි දැක්කේ නෑනෙ" යි කියා මට මගේ තැන ලබා දීමට තරම් කාරුණික විය.