Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, December 10, 2011

හිත ගිය තැන මාළිඟාව....

සාර්ථකවීම් අසාර්ථකවීම් රාශියක් අතරින් මේ දවස්වල ජීවිතේ ගලාන ගියාට හිතේ සතුටක්ද අසතුටක් ද තියෙන්නෙ කියලා හිතාගන්නවත් බැරි තත්වයක මම හිරවෙලා...
ඒ අතරෙ මානව සම්බන්ධතා පැවැත්වීම අපේ රැකියාව නිසා අපි හමුවට එන අය තරහා නොවන ආකාරයට ඒ අයත් එක්ක ගනුදෙනු කරන්නත් වෙනවා
සමහර ගනුදෙනුකරුවන් කරන කියන දේවල්වලදි කොච්චර තරහා ගියත් ඒ බව නොපෙන්වා හිනාවෙලා මිත්‍රශීලීව කතා කරන එක දැන් නම් ගොඩක් දුරට ඇඟටම බද්ධ වෙලා වගේ. ඒ වුනත් සමහර අවස්ථා තියෙනවා අපි උවමනාවට වඩා පාගන්න එන අවස්ථා. ඒ වගේ වෙලාවන්වලදි ඇඟට නොදැනී ඒවා නවත්තන්නත් අමාරුම වුනොත් කෙලින්ම මොනවා හරි කියලාදාන්නත් සිද්ධ වෙනවා. ඒ වගේ මොහොතවලදි කපටිකම කියන දේ ගොඩක් උපකාරි වෙනවා මට නම්. මොකද හිනා වෙන ගමන්ම අදාල තැනට හරියටම වදින විදියට කතාකරන්න කපටිකම ඉතාමත් වැදගත් මට නම්.
ඒ අතරෙ උදේ ඉඳන් ආතතිය මැද ගෙවන ජීවිතයට වෙනසක් එක් කරන්නත් සමහරු උත්සාහ කරනවා එක එක විදියෙ උදව් අපිට කරන්න ඇවිත්.  ඒ උදව් එපා කියන්න කොච්චර උත්සාහ කරත් ඊළඟ වතාවෙත් ඇවිත් ඒ ගැනමයි කතාව. මට ගැලපෙන ගැහැනුළමයෙක් හොයන වැඩේ මටත් හොරෙන්ම වෙනත් අයට පවරලා මගෙත් එක්කම ඉන්න කෙනෙක්. මට කිසි දෙයක් කරන්න එපාලු. ඒ අය උත්සාහ කරලා මට ගැලපෙන කෙනා හොයන්නම්ලු. එතකොට මට තියෙන්නෙ ඒ  අය හොයලා දෙන කෙනාට කැමති වෙන්න විතර(ද)? මම බලාපොරොත්තු වෙන්නෙ කොහොම කෙනෙක්ද කියලා ඒ අය දන්නවා ද? මේ වැඩ වලින් අන්තිමට වෙන්නෙ මාව චාටර් වෙනඑක කියලානම් මට ෂුවර්. ඒත් ඉතින් මේ මිනිස්සුන්ට එපා කීවාට අහන එකක්යැ. කොහේහරි ඉන්න අවුරුදු 26ක් 27ක් වෙන කෙනෙකුගෙ විස්තර හොයලා මට කියනවා. දැන් ඒක හැමෝගෙම විනෝදාංශය වෙලා වගේ. එක්කො ඒ කියන කෙනාව මට මුනගැස්සුවානම් අඩුගානෙ මුනුපොතේ මිතුරුකැලට එකතුකරගන්නවත් තිබුනා.

අද හවස මම යාලුවෙකුගෙ ගෙදර ගිය වෙලාවෙ දි මේ ගැන කතා කරද්දි යාලුවාගෙ අම්මා නම් කීවෙ " ජීවිතේ සමහර අවස්ථා තියෙනවා අපිට ඒ අවස්ථා ලැබෙන්නෙ සීමිත කාලයයි. ඒ කාලය තුලදි අපි ඒ අවස්ථාවලින් ප්‍රයෝජන නොගත්තොත් පසුකාලයකදි ඒ අවස්තාව ලබා ගන්න අමාරු වෙනවා. සමහරවිට නොලැබී යන්නත් පුලුවන්. " කියලායි. ඒ කියන්නෙ මේ අවස්ථාව මම පාවිච්චි කරන්න ඕන කියන එකද?
ඒ වුනාට හිත ගිය තැන මාළිඟාව කියනවානෙ. බලමු ඉස්සරහට අලුත් මාලිඟාවක් හදන්න අත්තිවාරමක් දාන්න වේවිද පරන අත්තිවාරමෙන්ම මාළිඟාව ගොඩනගන්න පුලුවන් වේවිද කියලා..

Related Posts with Thumbnails