Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Saturday, November 30, 2013

උත්සාහය, ප්‍රචාරණය, නිදහස හා පරිගණක මෙහෙයුම් පද්ධති වෙනුවෙන් කඩේ යාම


පරිගණකය, දැන් නැතිවම බැරි මෙවලමක්. එකඟ වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. 
පරිගණක මෙහෙයුම් පද්ධතියක් නැතිව පරිගණකය පාවිච්චි කරන්න පුලුවනිද? කියාවි බ්‍රව්සර් එක විතරක් පාවිච්චි කරලා ක්ලව්ඩ් පද්ධති වල දත්ත රඳවන්න නිපදවනලද නෙට්බුක් තියෙන බව. ඒ වුනාට අපි හැමෝටම පුලුවනිද ක්ලව්ඩ් මත විශ්වාසය තියාන ක්ලව්ඩ් එක්ක වැඩ කරන්න දැනට අපි පාවිච්චි කරන අන්තර්ජාල සම්බන්ධතා එක්ක. අනික ක්ලවුඩ් සර්විස් වෙනුවෙන් අපි යම් මුදලක් මාසිකව හෝ වාර්ෂිකව ගෙවන්න වුනොත්?

වින්ඩෝස්, මැක්, ලිනක්ස් කියන්නෙ අපේ පුද්ගලික පරිගණක වෙනුවෙන් නිපදවන ලද මෙහෙයුම් පද්ධති කීපයක ප්‍රධාන නාමයන් කීපයක්. අපි අතර ඉන්න බොහෝ දෙනා කරන්නෙ තමන් කරන දේ හරිය, අනික් අය වැරදිය කියන මතය සමාජයට බලෙන් ඔබ්බවන්න උත්සාහ කරන එකයි. ඉතින් වින්ඩෝස් පාවිච්චි කරන කෙනා කියාවි ලිනක්ස් , මැක් හොඳ නෑ කියලා. මැක් පාවිච්චි කරන කෙනා කියාවි ලිනක්ස් , වින්ඩෝස් හොඳ නෑ කියලා. ඉතින් ලිනක්ස් තමයි හොඳ කියන්නත් කෙනෙක් ඉඳීවි. ඒ වුනාට අපි කවුරුත් හිතන් නෑ නේද මේ පද්ධති තුනම නැතිනම් අනික් එකකටවත් පැවැත්මක් නැති බව. 

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ගත්තම බිල් ගේට්ස් විසින් තමන් විසින් කරන ලද නිර්මාණයක් ලෙස එළි දක්වන ලද එම්-එස්-ඩොස් කියන්නෙ තනිකරම තමන් විසින් නම වෙනස් කරන ලද ඩොස් පද්ධතියක් කියලා අන්තර්ජාලෙ තිබුනා මතකයි. නමුත් බිල් ගේට්ස් ගේ එම ආරම්භය නොතිබෙන්න අපි අද පුද්ගලික පරිගණක පාවිච්චි නොකරාවි. මොකද තනි පුද්ගලයෙක් ලෙස පරිගණක පාවිච්චි කරන්න පුලුවන් තත්වෙට මෙහෙයුම් පද්දතිය සුමට කරන්න උත්සාහ කරන ලද්දෙ බිල් ගේට්ස් විසින්. ඒ වගේම ඇපල් මැක් ගත්තම තනිකරම මුදල් මත යැපෙන සමාගමක්. ඔවුන් කරන්නෙ තමන්ගෙ මෘදුකාංග වෙනුවෙන් දෘඪාංගත් තමන්ම නිර්මාණය කරන එකයි. එනම් දෘඪාංග විකුනන්නෙ මෘදුකාංගත් එක්කමයි. ඒ කියන්නෙ හැම දේටම මුදල්

නමුත් බිල් ගේට්ස් මෙතැනදි සිදු කරන්නෙ තමන්ගෙ මෘදුකාංග විකුනනවා වෙනත් අයගෙ දෘඪාංග වෙනුවෙන්. ඒ නිසා විවිධ සමාගම් නිපදවන දෘඪාංග වෙනුවෙන් තම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරනු ලබනවා. ඉතිං වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය විශාල වශයෙන් පාවිච්චි වෙන්න ඒකම හේතුවක් නෙවිද? 

තවත් දෙයක්, බිල් ගේට්ස් කියන්නෙ දක්ෂ වෙළඳ ප්‍රචාරකයෙක්. ඒ නිසායි ඔහු විසින් ඩොස් පද්ධතිය එම්-එස්-ඩොස් ලෙස වෙනස් කළේ. තවත් දෙයක්, වින්ඩෝස් ලබා දෙන්නෙ මුදලට වුනත් ලෝකෙ පුරා කීයක් නම් හොර කොපි පාවිච්චි වෙනවාද? වින්ඩෝස් තනිකරම මාකටිං මත යැපෙන බව අපට අවබෝධ කරවන්නෙ මුලින් තිබුන 95, 98 පද්ධති ඇක්ටිවේට් කරන්න කියලා බලපෑමක් නොවුන නිසා අපි හිතුමතේට අපගේ පරිගණක වලට ඒ පද්ධති දමා ගෙන පාවිච්චි කරා. ලොව පුරා දෘඪාංග වෙළෙඳුන් මෘදුකාංග වෙනුවෙන් මුදල් නොගෙන පරිගණක දෘඪාංග විකිණනු ලැබුවා.  ඒත් දැන්, ලොව පුරා රටවල් අනවසර මෘදුකාංග පාලනයට නීති සකස් කරලා තියෙනවා මයික්‍රොසොෆ්ට් ආයතනේ බලපෑම මත. ඉතින් කොහොමෙයි හොර කොපි පාවිච්චි කරන්නෙ? දැන් වින්ඩෝස් 8 කියන්නෙ ඇක්ටිවේට් නොකර හරියාකාරව පාවිච්චි කරන්න බැරි මෙහෙයුම් පද්ධතියක්. ඒත් ඉතින් හොර කොපි පාවිච්චි වෙනවා. නමුත් කලින් තරම් ප්‍රතිශතයක් නෙවි. මෙතැනදි කරන ලද වෙළඳ උපක්‍රමය තමයි නිකන් බෙදා ගන්න දීලා ජනතාව ඒ වෙනුවෙන් ඇබ්බැහි කරවීම. වෙළඳපොල කොටස වැඩි වුනාම ප්‍රචාරණය නොකර තම වෙළඳාම සිදු වෙන බව බිල්ගේට්ස් තරම් වෙන කෙනෙකු හිතලා නැතිව ඇති. ඉතින් වින්ඩෝස් හරහා පරිගණකයට අත්පොත් තියපු කෙනෙක් පහුකාලීනව එම පද්ධතිය තමන්ගෙ පුද්ගලික පාවිච්චියටත් ගනු ලබයි. ඒ වගේම සිසුන් වෙනුවෙන් අඩු මිලට මෘදුකාංග ලබා දීම මගිනුත් මෘදුකාංග වෙළඳපොලේ තමන්ගෙ කොටස රඳවාගන්න උත්සාහ දරන්නෙ තම සිසුන් විදියට තමන්ගෙ මෘදුකාංග නොමිලේ හෝ සහන මිලට පාවිච්චි කළත් පසු කාලීනව ඔවුන්ට ශිෂ්‍ය ජීවිතෙන් පිටදි මුදල් ගෙවා මෘදුකාංග ලබා ගන්න සිදු වෙන නිසා.

ලිනක්ස් ගත්තම මේ සේරටම වඩා වෙනස්. යුනික්ස් පද්ධතිවලින් පැවතෙන ලිනක්ස් නොමිලේ ලබාගත හැකියි. ඒ වගේම මුදල් ගෙවලා ලබා ගන්න පුලුවන් වෙන පද්ධතිත් නිර්මාණය වෙනවා. නමුත් මේ පද්ධතිය මුල් යුගයේ තිබුනු සංකීර්ණ තත්වය නිසා තවම ජනතාව හිතන්නෙ හරිම සංකීර්ණ ඒ වගේම පාවිච්චි කරන්න අමාරු පද්ධතියක් විදියට. ඒ වුනාට දැන් ලිනක්ස් කියන්නෙ කලින් තිබුනට වඩා බොහෝ දියුණු ඒ වගේම user friendly පද්ධතියක්. සමහර අවස්ථා වලදි මැක්,වින්ඩෝස් වලට වඩා බොහෝ දියුණුයි. ඒ වුනත් ලිනක්ස් කියන්නෙ සර්වර් සඳහා පහසුවෙන් යොදා ගන්න පුලුවන් පද්ධතියක් බව කිව යුතුයි. 

ඉතින් මේ විවිධාකාර පද්ධති නොතිබුණානම් මේ වෙද්දි ලෝකය මේ තරම් දියුණුවක් අත් කර ගනීවිද? 
අපි මොකට තමන් පාවිච්චි කරන පද්ධතිය වර්ණනා කරමින් අනෙක් පද්ධති හෙළා දකිනවාද? හැම පද්ධතියෙම අඩුපාඩු ඒ වගේම හොඳ තිබෙන අතර ඒ අනුව තමන්ට හොඳින් ගැලපෙන පද්ධතිය තෝරා ගත හැකියි.
Related Posts with Thumbnails