Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, May 3, 2015

දැලිපිහිය ලැබුනු කවුදෝ වගේ ලිනක්ස් ගත්තු අපේ අය


ලිනක්ස් , උබුන්ටු. මේ වචන දෙකෙන් ලංකාවෙ වැඩි දෙනෙක් දන්නවා ඇත්තෙ උබුන්ටු කියන නම. මොකද අපේ අයට නිකන් දෙන ඕන දෙයක් ආසාවෙන් ලං කරගන්න නිසා නොමිලේ සීඩී එවනවා කියලා දැනගත්තම ගෙදර සීඩී ප්ලේයර් වල ප්ලේ කරන්නත් සීඩී ගෙන්නා ගත්තෙ තොග පිටින්. ඒ වුනාට ලංකාවට කැනොනිකල් ආයතනෙන් තැපැල් කරපු සීඩී වලින් කීයක් ඒ ගෙන්වාගත්තු අය පාවිච්චි කරන්න ඇතිද? කැනොනිකල් ආයතනෙ බලාපොරොත්තු වුනේ වැඩි දෙනෙකුට තමන්ගේ නිෂ්පාදන නොමිලේ ලබා දෙන්න වුනත් අපේ අය නම් කලේ තමන්ගේ නම වෙනස් කරලා හරි ලිපිනය වෙනස් කරලා හරි ඒ සීඩී ගෙන්නා ගත්තු එක. 


සමහරු තමන්ගෙ වාහන වල අලවා ගන්න, වගේ වැඩ වලටත් ඒ සීඩී පාවිච්චි කරනවා දකින්න ලැබුනා. (කාලයක් තිබුනනෙ සීඩී එකක් වාහනේ ඉස්සරහ ඇලෙව්වම පොලිසිය වාහනේ වේගෙ බලන උපකරණෙ හරියට ක්‍රියාත්මක වෙන් නෑ කියලා ගෙදර තියෙන සීඩී වාහනේ අලවන් ගියපු)

දැන් ඉතින් ආවොත් උබුන්ටු ගැන කතා කරන්න, ලංකාවෙ මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දති වලට පස්සෙ වැඩි දෙනෙක් දන්න මෙහෙයුම් පද්ධතිය තමයි උබුන්ටු. ඉතින් නිකන් දෙන නිසා තමන්ගෙ ගෙදරට ගෙන්නාගත්තු සීඩී කලාතුරකින් කෙනෙක් තමන්ගේ පරිගණක වලට ස්ථාපිත කරගන්න ඇති. මුල් වතාවෙ ඉන්ස්ටෝල් කරද්දි තමන්ගෙ පරිගණකයේ කලින් තිබුන හැමදේම මකාගෙන උබුන්ටු දාගත්තු කීපදෙනෙක්ම මට හමුවෙලා තියෙනවා. මොකද අපි පුරුදු වෙලා තියෙන්නෙ පරිගණකය පාවිච්චි කරද්දි එන පණිවුඩ කියවනවා වෙනුවට ඒ පණිවුඩය නොකියවා ම ඉදිරියට යන්නයි. ඉතින් අපි කරන්නෙ finish පණිවිඩය ලැබෙනකන් yes ඔබන එක. අන්තිමට උබුන්ටු දාගත්තම වින්ඩෝස් වල තිබුනු ෆයිල් ටික නැතිවෙලා. ඊට පස්සෙ කරන්නෙ සිංදුවක් අහන්න ෆිල්ම් එකක් බලන්න ට්‍රයි කරන එක. එතකොට තමයි තේරෙන්නෙ නිකන් දුන්න අශ්වයාගේ දතුත් නෑ උට ඇස් පේන්නෙත් නෑ කියලා. (මොකද සීඩී ගෙන්නුවාට ඒ සීඩී වල උඩ ගහලා තියෙන දේවල්වත් සීඩී ඉල්ලනකොට ඒ සයිට් එකේ කියලා තියෙන දේවල්වත් හරියට කියවලා නෑ) ඉතින් උබුන්ටු දාගත්ත කෙනා දැන් තමයි දැනගන්නෙ ලිනක්ස් කියන්නෙ මොනවගේ දෙයක් ද කියලා. ඊළගට කරන්නෙ උබුන්ටු එහෙමම තියෙද්දි වින්ඩෝස් දාගෙන ලිනක්ස් වලටයි උබුන්ටු වලටයි දෙකටම බනින එක. 

ඇත්තටම උබුන්ටු පාවිච්චි කරන්න ඕන කෙනා කරන්නෙ තමන්ට අවශ්‍ය දේ අන්තර්ජාලේ හොයමින් දිගටම උබුන්ටු පාවිච්චි කරන එක. අද වගේ අන්තර්ජාලෙ  (මිල/වේගය)  නොතිබුනකාලෙ නම් මේ විදියට තමන්ගෙ දෛනික කටයුතු වලට උබුන්ටු හරිගස්සාගන්න සෑහෙන කට්ටක් කන්න වුනා. 

මේ කට්ට කන්න බෑ කියලා හිතුන අය වින්ඩෝස් වලට ආයෙත් ගියත්, සමහරු මෙච්චර කට්ටක් කන්න වෙන් නැති ලිනක්ස් මෙහෙයුම් පද්ධති හොයන්න පටන් ගත්තා. දැන් අන්තර්ජාලය නිසා ලේසියෙන් තමන්ට අවශ්‍ය දේ බාගත කරගන්න පුලුවන් වුනත් 2009ට පෙර කාලෙ සීඩී ඩීවීඩී නැතිව සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරලාම පාවිච්චි කරන්න යොමු වුනේ ටික දෙනයි. ඒ වෙනුවට ඕනෑම සොෆ්ට්වෙයා සීඩී එකක් රුපියල් 100ට කඩෙන් ගන්න පුලුවන් වුනා. 

ඒත් සීඩී කඩවල ලිනක්ස් හොයන්න ගියපු කෙනෙක් අත්දැකීමෙන්ම දන්නවා ඇති ලිනක්ස් කියන වචනෙ ඇහුනම කඩේ අයගේ ප්‍රතිචාර. (මල්ලි ලිනක්ස් පාවිච්චි කරන්න අමාරුයි නෙ. වැඩ කරන්නෙ  command line  එකෙන් නෙ. ගේම්ස් ගහන්න බෑ නෙ. ලිනක්ස්? ඇහුවෙත් අදයි. ) 
ඉතින් ඒ  කඩේකට දවස් දෙකතුනකින් ගිහින් නිකන් ගෙන්නා ගත්තු ලිනක්ස් සීඩීයක් විකුණලා ඒ වෙනුවට වෙන සීඩී දෙකතුනක් ගත්තු අවස්ථාත් අපේ ජීවිතේ තිබුනා.

ඉතින් දැන් බලමු කට්ට කාලා ලිනක්ස්/උබුන්ටු එක්ක ඉන්න අයගේ හැසිරීම කොහොමද කියලා. ලිනක්ස් පාවිච්චි කරන කෙනා බලන්නෙ තමන් පාවිච්චි කරන දේ තවත් අවශ්‍ය අයට බෙදා හරින්න. ඉතින් මේ අය ලිනක්ස් ඕන කියන අයට ලිනක්ස් ඉන්ස්ටෝල් කරලා දෙනවා පහසුවෙන්ම. සාමාන්‍යය පරිගණකයක් මේ වෙද්දි පාවිච්චි වෙන්නෙ ෆිල්ම් බලන්න, සින්දු අහන්න, ඉන්ටර්නෙට් යන්න විතරක් නිසා ඒ තරම් ගැටලුවක් වෙන්නෙත් නැති නිසා ඊට පස්සෙ අර ලේසියෙන් ලිනක්ස් දාගත්තු කෙනා කරන්නෙ ලෝකෙ තියනෙ හැම පරිගණකයකටම ලිනක්ස් දාන්න ඕන කියලා පරිගණක පාවිච්චි කරන අයට ලිනක්ස් ගැන දේශනා දෙන එක. 

තමන් වැඩ කරන තැන හැම  පරිගණකයක්ම ලිනක්ස් වෙන්න ඕන, ගෙවල් වල වින්ඩෝස් පද්ධති පාවිච්චිය අතඅරින්න ඕන කියලා කතන්දර කෝටියයි. ඒ අය හිතන්නෙ වයින් හරි ක්‍රොස්ඕවර් එහෙමත් නැතිනම් මොනෝ වගේ දේවල් දාලා ලිනක්ස් පාවිච්චි කරන්න හැම කෙනාම එකතු වේවි කියලා. එහෙම කරන්න පුලුවනි පරිගණක සාක්ෂරතාව කියන දේ වින්ඩෝස් මතට යොමු නොවීතිබුනනම්. මොකද ආයතනයක් ගත්තම ඒකෙ පරිගණක 500ක් ලිනක්ස් වලට හරවනවා කියන්නෙ ඒවා පාවිච්චි කරන අයට පුහුණුව ලබා දෙන්න -දෛනික කටයුතු වලට පාවිච්චි කරන සොෆ්ට්වෙයා ලිනක්ස් මතට හරවා ගන්න, ඒ වගේම ලිනක්ස් වලට අමතර සේවා ලබා ගන්න යන වියදමට වඩා වින්ඩෝස් ජෙනුයින් කොපි මිලට ගන්න එක  වාසි දායක වේවි. 

මම ෆේස්බුක් එකේ දැකලා තියෙනවා එක ගෘෘප් එකක් ලංකාවෙ කට්ටියක් බොරු ප්‍රචාර දෙමින් ලිනක්ස් පාවිච්චි කරන අය වැඩි කරගන්න උත්සාහ කරනවා. ඇපල් ඕඑස් එක අද විතරයි ෆ්‍රී දෙන්නෙ කියකියා පෝස්ට් හද හද දානවා linux distro/distribution වලට ලින්ක් කරකර. ඉතින් ඇපල් ඕඑස් ගන්න ආපු කෙනා බැන බැන යනවා ඇපල් නැති නිසා. මේ ගෲප් එක කරන අය ලිනක්ස් කියන්නෙ මොකක්ද? කියලා හරියට දන්නවාද දන් නෑ. රැවටිලා ලිනක්ස් වෙතට එන කෙනා ආවටත් වඩා ඉක්මනට අායෙත් යන එක අනිවාර්යයි. 

මේ ආකාර විවිධ හේතු තිබුනත් ලිනක්ස් කියන්නෙ ඉතාම බලවත් ආරක්ෂාකාරී ඒ වගේම පාවිච්චි කරන්න ඉතාම ලේසි මෙහෙයුම් පද්ධතියක්. 2004 මම මුලින්ම ලිනක්ස් පාවිච්චි කරද්දි දැකපු ගොඩක් දේ මේ වෙද්දි වින්ඩෝස් වලට ඇවිත් තියෙනවා. kde, gnome වගේ ඩෙස්ක්ටොප් environment වල මුල් කාලෙ තිබුන දේවල් වින්ඩෝස් වලට ලබාදෙනකොට ඒවා මැජික්වගේ දැකලා වින්ඩෝස් වල මේක තියෙනවා-ලිනක්ස් වල නෑනෙ කියනකොට මටනම් හිතෙන්නෙ එහෙම කියන කෙනා ගැන අනුකම්පාවක්. මොකද දැන් වින්ඩෝස් 10 එක්ක multiple desktop feature එනවාලු. ඒ වුනාට ලිනක්ස් වල අපි ඒක දැක්කෙ මීට සෑහෙන කාලෙකට කලින්. 

ඕපන්සෝස් කියන්නෙ සෝස් කෝඩ් එක හැමෝටම ලැබෙන නිසා ආරක්ෂාව අතින් ප්‍රශ්නයක් කියලා හිතන අයත් අපි අතර ඉන්නවා. එහෙමනම් ලෝකෙ සියයට 70ට වඩා සර්වර් ලිනක්ස් පාචිච්චි කරන්නත් රටවල් (චීනය,රුසියාව) පිටින් ලිනක්ස් වලට යොමු වෙන්නත් ඉලෙක්ට්‍රොනික උපකරන වලට ලිනක්ස් පාවිච්චි කරන්නත් හේතුවක් නෑ. (windows xp ඉවත් වීමත් සමග ඉන්දියාව xp වලින් වැඩ කරපු ATM වලට ලිනක්ස් පද්ධතියක් දාන්න සූදානම් බව ආරංචි වුනා පහුගිය අවුරුද්දෙ. ජර්මනිය දැනට දශකයක පමණ සිට ලිනක්ස් වෙතට යොමුවුනත් මේ වෙද්දි රටේ තීරණ ගන්නා අය මුදලට යට වීම නිසා ආපසු වින්ඩෝස් වෙතට යන බවත් මේ දිනවල කියැවෙනවා, apache සර්වර් එක තරම් බලවත් ඒකට ආදේශක සර්වර් එකක් මයික්‍රොසොෆ්ට් වෙතින් නිපදවලා නෑ තවම)

ඒ කොහොම වුනත් ලිනක්ස් පාචිච්චි කරන්න කැමති කෙනෙක් ඉන්නවානම් මුලින්ම linux mint (www.linuxmint.com) පාවිච්චි කරන්න. ඒකෙ මම මුලින් කීව ගොඩක් ප්‍රශ්න නෑ - මොකද ලිනක්ස් මින්ට් කියන්නෙ උබුන්ටු වැඩිදියුණු කරලා හදපු පද්ධතියක්. ඉන්ස්ටෝල් කරපු ගමන්ම අමතර කිසි දෙයක් කරන් නැතිවම සිංදු අහන්න ෆිල්ම් බලන්න ඉන්ටනෙට් යන්න පුලුවනි. 
ඒ වගේම distrowatch (www.distrowatch.com) සයිට් එක බැලුවනම් තමන්ගේ තියෙන ඕනම පරිගණකයකට හරියන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් හොයාගන්න පුලුවන් වේවි. 

5 comments:

  1. මම බාවිතා කරන්නේ Lubuntu මමත් මුලදී ඔහොම CD ගෙනුවා තමයි ඔබ කියලා තියෙන ටික ඒ විදියටම උනා. ඔබ ඔය උඩ කියලා තියෙනවා වගේ පම්පෝරි ගහන කෙනක් හිටියා මගේ මිතුරෙක් එයා දවසෙම කියවන්නේ Linux ගැන Linux නැත්තම ඌට ජිවිතයක් නැති තරම් මෑන්ගේ කතා අහලා මට ආස හිතුනා Linux දාන්න පස්සේ දැම්මා කට්ට කාගෙන දැම්මා මුලින් දාපු දවස් වල 7-8 වතාවක් Install කරලා වැඩේ අල්ලා ගතතා.

    ඔය අතරේ ඊට පස්සේ දන්නේම නැතුව Dongel එකේ Windows Drivers file එක fomet උනා ඊට පස්සේ කරන්න දෙයක් නැහැනේ Linux ම බාවිතා කරන්න ගත්තා මුලදී එපා උනත් පස්සේ වැඩේ අල්ලා යනකොට Linux නැතුව බැරි උනා දැන් නම් මට Windows පෙන්න බැහැ. හැබැයි කලින් මන් Linux VPS බාවිතා කරලා තියෙන නිසා Command ගැන නම් කිසි අවුලක් උනේ නැහැ

    බ්ලොග් එකත් ලියන්නේ Linux ගැන http://lktipsblog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. උවමනාව තියෙන/වටිනාකම තේරුම්ගත්තු අය කොහොම හරි දිගටම පාවිච්චි කරනවා. සතුටුයි අදුරගන්න ලැබුනට.

      මට මේ ලිපිය ලියන්න හේතු වුනේ ෆේස්බුක් එකේ තිබුණ පෝස්ට් කීපයක්. එකක් අර නම නොකීව ගෲප් එක. තව හැමතැනටම ලිනක්ස් දාන්න කියන කීපදෙනෙක් හමුවුනා.

      Delete
    2. හ්ම්ම් තවත් තැන් වල ඔහොම උන් ඉන්නවා සිංහල forums වල විශේෂයි,

      Delete
  2. http://www.elakiri.com/forum/showthread.php?t=1674795

    ReplyDelete
    Replies
    1. http://www.elakiri.com/forum/member.php?s=04ff7e5411e32b358a7962d2c964fb55&u=533626 ස්තුතියි බෙදාගත්තට. නමුත් මෙතැන මම මේ ලිපියෙන් කියලා තියෙන දේ හරියට තේරුම් අරන් නෑ වගේ.

      Delete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails