Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....
Showing posts with label ලිනක්ස්. Show all posts
Showing posts with label ලිනක්ස්. Show all posts

Sunday, May 3, 2015

දැලිපිහිය ලැබුනු කවුදෝ වගේ ලිනක්ස් ගත්තු අපේ අය


ලිනක්ස් , උබුන්ටු. මේ වචන දෙකෙන් ලංකාවෙ වැඩි දෙනෙක් දන්නවා ඇත්තෙ උබුන්ටු කියන නම. මොකද අපේ අයට නිකන් දෙන ඕන දෙයක් ආසාවෙන් ලං කරගන්න නිසා නොමිලේ සීඩී එවනවා කියලා දැනගත්තම ගෙදර සීඩී ප්ලේයර් වල ප්ලේ කරන්නත් සීඩී ගෙන්නා ගත්තෙ තොග පිටින්. ඒ වුනාට ලංකාවට කැනොනිකල් ආයතනෙන් තැපැල් කරපු සීඩී වලින් කීයක් ඒ ගෙන්වාගත්තු අය පාවිච්චි කරන්න ඇතිද? කැනොනිකල් ආයතනෙ බලාපොරොත්තු වුනේ වැඩි දෙනෙකුට තමන්ගේ නිෂ්පාදන නොමිලේ ලබා දෙන්න වුනත් අපේ අය නම් කලේ තමන්ගේ නම වෙනස් කරලා හරි ලිපිනය වෙනස් කරලා හරි ඒ සීඩී ගෙන්නා ගත්තු එක. 


සමහරු තමන්ගෙ වාහන වල අලවා ගන්න, වගේ වැඩ වලටත් ඒ සීඩී පාවිච්චි කරනවා දකින්න ලැබුනා. (කාලයක් තිබුනනෙ සීඩී එකක් වාහනේ ඉස්සරහ ඇලෙව්වම පොලිසිය වාහනේ වේගෙ බලන උපකරණෙ හරියට ක්‍රියාත්මක වෙන් නෑ කියලා ගෙදර තියෙන සීඩී වාහනේ අලවන් ගියපු)

දැන් ඉතින් ආවොත් උබුන්ටු ගැන කතා කරන්න, ලංකාවෙ මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දති වලට පස්සෙ වැඩි දෙනෙක් දන්න මෙහෙයුම් පද්ධතිය තමයි උබුන්ටු. ඉතින් නිකන් දෙන නිසා තමන්ගෙ ගෙදරට ගෙන්නාගත්තු සීඩී කලාතුරකින් කෙනෙක් තමන්ගේ පරිගණක වලට ස්ථාපිත කරගන්න ඇති. මුල් වතාවෙ ඉන්ස්ටෝල් කරද්දි තමන්ගෙ පරිගණකයේ කලින් තිබුන හැමදේම මකාගෙන උබුන්ටු දාගත්තු කීපදෙනෙක්ම මට හමුවෙලා තියෙනවා. මොකද අපි පුරුදු වෙලා තියෙන්නෙ පරිගණකය පාවිච්චි කරද්දි එන පණිවුඩ කියවනවා වෙනුවට ඒ පණිවුඩය නොකියවා ම ඉදිරියට යන්නයි. ඉතින් අපි කරන්නෙ finish පණිවිඩය ලැබෙනකන් yes ඔබන එක. අන්තිමට උබුන්ටු දාගත්තම වින්ඩෝස් වල තිබුනු ෆයිල් ටික නැතිවෙලා. ඊට පස්සෙ කරන්නෙ සිංදුවක් අහන්න ෆිල්ම් එකක් බලන්න ට්‍රයි කරන එක. එතකොට තමයි තේරෙන්නෙ නිකන් දුන්න අශ්වයාගේ දතුත් නෑ උට ඇස් පේන්නෙත් නෑ කියලා. (මොකද සීඩී ගෙන්නුවාට ඒ සීඩී වල උඩ ගහලා තියෙන දේවල්වත් සීඩී ඉල්ලනකොට ඒ සයිට් එකේ කියලා තියෙන දේවල්වත් හරියට කියවලා නෑ) ඉතින් උබුන්ටු දාගත්ත කෙනා දැන් තමයි දැනගන්නෙ ලිනක්ස් කියන්නෙ මොනවගේ දෙයක් ද කියලා. ඊළගට කරන්නෙ උබුන්ටු එහෙමම තියෙද්දි වින්ඩෝස් දාගෙන ලිනක්ස් වලටයි උබුන්ටු වලටයි දෙකටම බනින එක. 

ඇත්තටම උබුන්ටු පාවිච්චි කරන්න ඕන කෙනා කරන්නෙ තමන්ට අවශ්‍ය දේ අන්තර්ජාලේ හොයමින් දිගටම උබුන්ටු පාවිච්චි කරන එක. අද වගේ අන්තර්ජාලෙ  (මිල/වේගය)  නොතිබුනකාලෙ නම් මේ විදියට තමන්ගෙ දෛනික කටයුතු වලට උබුන්ටු හරිගස්සාගන්න සෑහෙන කට්ටක් කන්න වුනා. 

මේ කට්ට කන්න බෑ කියලා හිතුන අය වින්ඩෝස් වලට ආයෙත් ගියත්, සමහරු මෙච්චර කට්ටක් කන්න වෙන් නැති ලිනක්ස් මෙහෙයුම් පද්ධති හොයන්න පටන් ගත්තා. දැන් අන්තර්ජාලය නිසා ලේසියෙන් තමන්ට අවශ්‍ය දේ බාගත කරගන්න පුලුවන් වුනත් 2009ට පෙර කාලෙ සීඩී ඩීවීඩී නැතිව සොෆ්ට්වෙයා ඩවුන්ලෝඩ් කරලාම පාවිච්චි කරන්න යොමු වුනේ ටික දෙනයි. ඒ වෙනුවට ඕනෑම සොෆ්ට්වෙයා සීඩී එකක් රුපියල් 100ට කඩෙන් ගන්න පුලුවන් වුනා. 

ඒත් සීඩී කඩවල ලිනක්ස් හොයන්න ගියපු කෙනෙක් අත්දැකීමෙන්ම දන්නවා ඇති ලිනක්ස් කියන වචනෙ ඇහුනම කඩේ අයගේ ප්‍රතිචාර. (මල්ලි ලිනක්ස් පාවිච්චි කරන්න අමාරුයි නෙ. වැඩ කරන්නෙ  command line  එකෙන් නෙ. ගේම්ස් ගහන්න බෑ නෙ. ලිනක්ස්? ඇහුවෙත් අදයි. ) 
ඉතින් ඒ  කඩේකට දවස් දෙකතුනකින් ගිහින් නිකන් ගෙන්නා ගත්තු ලිනක්ස් සීඩීයක් විකුණලා ඒ වෙනුවට වෙන සීඩී දෙකතුනක් ගත්තු අවස්ථාත් අපේ ජීවිතේ තිබුනා.

ඉතින් දැන් බලමු කට්ට කාලා ලිනක්ස්/උබුන්ටු එක්ක ඉන්න අයගේ හැසිරීම කොහොමද කියලා. ලිනක්ස් පාවිච්චි කරන කෙනා බලන්නෙ තමන් පාවිච්චි කරන දේ තවත් අවශ්‍ය අයට බෙදා හරින්න. ඉතින් මේ අය ලිනක්ස් ඕන කියන අයට ලිනක්ස් ඉන්ස්ටෝල් කරලා දෙනවා පහසුවෙන්ම. සාමාන්‍යය පරිගණකයක් මේ වෙද්දි පාවිච්චි වෙන්නෙ ෆිල්ම් බලන්න, සින්දු අහන්න, ඉන්ටර්නෙට් යන්න විතරක් නිසා ඒ තරම් ගැටලුවක් වෙන්නෙත් නැති නිසා ඊට පස්සෙ අර ලේසියෙන් ලිනක්ස් දාගත්තු කෙනා කරන්නෙ ලෝකෙ තියනෙ හැම පරිගණකයකටම ලිනක්ස් දාන්න ඕන කියලා පරිගණක පාවිච්චි කරන අයට ලිනක්ස් ගැන දේශනා දෙන එක. 

තමන් වැඩ කරන තැන හැම  පරිගණකයක්ම ලිනක්ස් වෙන්න ඕන, ගෙවල් වල වින්ඩෝස් පද්ධති පාවිච්චිය අතඅරින්න ඕන කියලා කතන්දර කෝටියයි. ඒ අය හිතන්නෙ වයින් හරි ක්‍රොස්ඕවර් එහෙමත් නැතිනම් මොනෝ වගේ දේවල් දාලා ලිනක්ස් පාවිච්චි කරන්න හැම කෙනාම එකතු වේවි කියලා. එහෙම කරන්න පුලුවනි පරිගණක සාක්ෂරතාව කියන දේ වින්ඩෝස් මතට යොමු නොවීතිබුනනම්. මොකද ආයතනයක් ගත්තම ඒකෙ පරිගණක 500ක් ලිනක්ස් වලට හරවනවා කියන්නෙ ඒවා පාවිච්චි කරන අයට පුහුණුව ලබා දෙන්න -දෛනික කටයුතු වලට පාවිච්චි කරන සොෆ්ට්වෙයා ලිනක්ස් මතට හරවා ගන්න, ඒ වගේම ලිනක්ස් වලට අමතර සේවා ලබා ගන්න යන වියදමට වඩා වින්ඩෝස් ජෙනුයින් කොපි මිලට ගන්න එක  වාසි දායක වේවි. 

මම ෆේස්බුක් එකේ දැකලා තියෙනවා එක ගෘෘප් එකක් ලංකාවෙ කට්ටියක් බොරු ප්‍රචාර දෙමින් ලිනක්ස් පාවිච්චි කරන අය වැඩි කරගන්න උත්සාහ කරනවා. ඇපල් ඕඑස් එක අද විතරයි ෆ්‍රී දෙන්නෙ කියකියා පෝස්ට් හද හද දානවා linux distro/distribution වලට ලින්ක් කරකර. ඉතින් ඇපල් ඕඑස් ගන්න ආපු කෙනා බැන බැන යනවා ඇපල් නැති නිසා. මේ ගෲප් එක කරන අය ලිනක්ස් කියන්නෙ මොකක්ද? කියලා හරියට දන්නවාද දන් නෑ. රැවටිලා ලිනක්ස් වෙතට එන කෙනා ආවටත් වඩා ඉක්මනට අායෙත් යන එක අනිවාර්යයි. 

මේ ආකාර විවිධ හේතු තිබුනත් ලිනක්ස් කියන්නෙ ඉතාම බලවත් ආරක්ෂාකාරී ඒ වගේම පාවිච්චි කරන්න ඉතාම ලේසි මෙහෙයුම් පද්ධතියක්. 2004 මම මුලින්ම ලිනක්ස් පාවිච්චි කරද්දි දැකපු ගොඩක් දේ මේ වෙද්දි වින්ඩෝස් වලට ඇවිත් තියෙනවා. kde, gnome වගේ ඩෙස්ක්ටොප් environment වල මුල් කාලෙ තිබුන දේවල් වින්ඩෝස් වලට ලබාදෙනකොට ඒවා මැජික්වගේ දැකලා වින්ඩෝස් වල මේක තියෙනවා-ලිනක්ස් වල නෑනෙ කියනකොට මටනම් හිතෙන්නෙ එහෙම කියන කෙනා ගැන අනුකම්පාවක්. මොකද දැන් වින්ඩෝස් 10 එක්ක multiple desktop feature එනවාලු. ඒ වුනාට ලිනක්ස් වල අපි ඒක දැක්කෙ මීට සෑහෙන කාලෙකට කලින්. 

ඕපන්සෝස් කියන්නෙ සෝස් කෝඩ් එක හැමෝටම ලැබෙන නිසා ආරක්ෂාව අතින් ප්‍රශ්නයක් කියලා හිතන අයත් අපි අතර ඉන්නවා. එහෙමනම් ලෝකෙ සියයට 70ට වඩා සර්වර් ලිනක්ස් පාචිච්චි කරන්නත් රටවල් (චීනය,රුසියාව) පිටින් ලිනක්ස් වලට යොමු වෙන්නත් ඉලෙක්ට්‍රොනික උපකරන වලට ලිනක්ස් පාවිච්චි කරන්නත් හේතුවක් නෑ. (windows xp ඉවත් වීමත් සමග ඉන්දියාව xp වලින් වැඩ කරපු ATM වලට ලිනක්ස් පද්ධතියක් දාන්න සූදානම් බව ආරංචි වුනා පහුගිය අවුරුද්දෙ. ජර්මනිය දැනට දශකයක පමණ සිට ලිනක්ස් වෙතට යොමුවුනත් මේ වෙද්දි රටේ තීරණ ගන්නා අය මුදලට යට වීම නිසා ආපසු වින්ඩෝස් වෙතට යන බවත් මේ දිනවල කියැවෙනවා, apache සර්වර් එක තරම් බලවත් ඒකට ආදේශක සර්වර් එකක් මයික්‍රොසොෆ්ට් වෙතින් නිපදවලා නෑ තවම)

ඒ කොහොම වුනත් ලිනක්ස් පාචිච්චි කරන්න කැමති කෙනෙක් ඉන්නවානම් මුලින්ම linux mint (www.linuxmint.com) පාවිච්චි කරන්න. ඒකෙ මම මුලින් කීව ගොඩක් ප්‍රශ්න නෑ - මොකද ලිනක්ස් මින්ට් කියන්නෙ උබුන්ටු වැඩිදියුණු කරලා හදපු පද්ධතියක්. ඉන්ස්ටෝල් කරපු ගමන්ම අමතර කිසි දෙයක් කරන් නැතිවම සිංදු අහන්න ෆිල්ම් බලන්න ඉන්ටනෙට් යන්න පුලුවනි. 
ඒ වගේම distrowatch (www.distrowatch.com) සයිට් එක බැලුවනම් තමන්ගේ තියෙන ඕනම පරිගණකයකට හරියන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් හොයාගන්න පුලුවන් වේවි. 

Saturday, October 4, 2014

විධාන තීරුව

මුල් ඇඳුමින් ඉන්නවා දැක්කම
හිතට දුකක් දැනුනා

කලුපාට ඇඳුම
ලස්සන මදි නිසා
පාට පාට ඇඳුමක් ඇන්දුවා

ඔබ ඒ ඇඳුම එක්ක
කෙතරම් සුන්දර වුවත්
ඔබේ බලය අඩුවෙලා වගෙයි

ඒ නිසයි දැනටත්
ලෝකේ සමහරු
මුල් ඇඳුමින් ඉන්න
ඔබව සොයන්නෙ....

පින්තූරෙ ගත්තෙ  http://www.libregeek.org/wp-content/uploads/2014/02/Cool-Linux-Command-Wallpaper.jpg


Saturday, November 30, 2013

උත්සාහය, ප්‍රචාරණය, නිදහස හා පරිගණක මෙහෙයුම් පද්ධති වෙනුවෙන් කඩේ යාම


පරිගණකය, දැන් නැතිවම බැරි මෙවලමක්. එකඟ වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. 
පරිගණක මෙහෙයුම් පද්ධතියක් නැතිව පරිගණකය පාවිච්චි කරන්න පුලුවනිද? කියාවි බ්‍රව්සර් එක විතරක් පාවිච්චි කරලා ක්ලව්ඩ් පද්ධති වල දත්ත රඳවන්න නිපදවනලද නෙට්බුක් තියෙන බව. ඒ වුනාට අපි හැමෝටම පුලුවනිද ක්ලව්ඩ් මත විශ්වාසය තියාන ක්ලව්ඩ් එක්ක වැඩ කරන්න දැනට අපි පාවිච්චි කරන අන්තර්ජාල සම්බන්ධතා එක්ක. අනික ක්ලවුඩ් සර්විස් වෙනුවෙන් අපි යම් මුදලක් මාසිකව හෝ වාර්ෂිකව ගෙවන්න වුනොත්?

වින්ඩෝස්, මැක්, ලිනක්ස් කියන්නෙ අපේ පුද්ගලික පරිගණක වෙනුවෙන් නිපදවන ලද මෙහෙයුම් පද්ධති කීපයක ප්‍රධාන නාමයන් කීපයක්. අපි අතර ඉන්න බොහෝ දෙනා කරන්නෙ තමන් කරන දේ හරිය, අනික් අය වැරදිය කියන මතය සමාජයට බලෙන් ඔබ්බවන්න උත්සාහ කරන එකයි. ඉතින් වින්ඩෝස් පාවිච්චි කරන කෙනා කියාවි ලිනක්ස් , මැක් හොඳ නෑ කියලා. මැක් පාවිච්චි කරන කෙනා කියාවි ලිනක්ස් , වින්ඩෝස් හොඳ නෑ කියලා. ඉතින් ලිනක්ස් තමයි හොඳ කියන්නත් කෙනෙක් ඉඳීවි. ඒ වුනාට අපි කවුරුත් හිතන් නෑ නේද මේ පද්ධති තුනම නැතිනම් අනික් එකකටවත් පැවැත්මක් නැති බව. 

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ගත්තම බිල් ගේට්ස් විසින් තමන් විසින් කරන ලද නිර්මාණයක් ලෙස එළි දක්වන ලද එම්-එස්-ඩොස් කියන්නෙ තනිකරම තමන් විසින් නම වෙනස් කරන ලද ඩොස් පද්ධතියක් කියලා අන්තර්ජාලෙ තිබුනා මතකයි. නමුත් බිල් ගේට්ස් ගේ එම ආරම්භය නොතිබෙන්න අපි අද පුද්ගලික පරිගණක පාවිච්චි නොකරාවි. මොකද තනි පුද්ගලයෙක් ලෙස පරිගණක පාවිච්චි කරන්න පුලුවන් තත්වෙට මෙහෙයුම් පද්දතිය සුමට කරන්න උත්සාහ කරන ලද්දෙ බිල් ගේට්ස් විසින්. ඒ වගේම ඇපල් මැක් ගත්තම තනිකරම මුදල් මත යැපෙන සමාගමක්. ඔවුන් කරන්නෙ තමන්ගෙ මෘදුකාංග වෙනුවෙන් දෘඪාංගත් තමන්ම නිර්මාණය කරන එකයි. එනම් දෘඪාංග විකුනන්නෙ මෘදුකාංගත් එක්කමයි. ඒ කියන්නෙ හැම දේටම මුදල්

නමුත් බිල් ගේට්ස් මෙතැනදි සිදු කරන්නෙ තමන්ගෙ මෘදුකාංග විකුනනවා වෙනත් අයගෙ දෘඪාංග වෙනුවෙන්. ඒ නිසා විවිධ සමාගම් නිපදවන දෘඪාංග වෙනුවෙන් තම මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරනු ලබනවා. ඉතිං වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය විශාල වශයෙන් පාවිච්චි වෙන්න ඒකම හේතුවක් නෙවිද? 

තවත් දෙයක්, බිල් ගේට්ස් කියන්නෙ දක්ෂ වෙළඳ ප්‍රචාරකයෙක්. ඒ නිසායි ඔහු විසින් ඩොස් පද්ධතිය එම්-එස්-ඩොස් ලෙස වෙනස් කළේ. තවත් දෙයක්, වින්ඩෝස් ලබා දෙන්නෙ මුදලට වුනත් ලෝකෙ පුරා කීයක් නම් හොර කොපි පාවිච්චි වෙනවාද? වින්ඩෝස් තනිකරම මාකටිං මත යැපෙන බව අපට අවබෝධ කරවන්නෙ මුලින් තිබුන 95, 98 පද්ධති ඇක්ටිවේට් කරන්න කියලා බලපෑමක් නොවුන නිසා අපි හිතුමතේට අපගේ පරිගණක වලට ඒ පද්ධති දමා ගෙන පාවිච්චි කරා. ලොව පුරා දෘඪාංග වෙළෙඳුන් මෘදුකාංග වෙනුවෙන් මුදල් නොගෙන පරිගණක දෘඪාංග විකිණනු ලැබුවා.  ඒත් දැන්, ලොව පුරා රටවල් අනවසර මෘදුකාංග පාලනයට නීති සකස් කරලා තියෙනවා මයික්‍රොසොෆ්ට් ආයතනේ බලපෑම මත. ඉතින් කොහොමෙයි හොර කොපි පාවිච්චි කරන්නෙ? දැන් වින්ඩෝස් 8 කියන්නෙ ඇක්ටිවේට් නොකර හරියාකාරව පාවිච්චි කරන්න බැරි මෙහෙයුම් පද්ධතියක්. ඒත් ඉතින් හොර කොපි පාවිච්චි වෙනවා. නමුත් කලින් තරම් ප්‍රතිශතයක් නෙවි. මෙතැනදි කරන ලද වෙළඳ උපක්‍රමය තමයි නිකන් බෙදා ගන්න දීලා ජනතාව ඒ වෙනුවෙන් ඇබ්බැහි කරවීම. වෙළඳපොල කොටස වැඩි වුනාම ප්‍රචාරණය නොකර තම වෙළඳාම සිදු වෙන බව බිල්ගේට්ස් තරම් වෙන කෙනෙකු හිතලා නැතිව ඇති. ඉතින් වින්ඩෝස් හරහා පරිගණකයට අත්පොත් තියපු කෙනෙක් පහුකාලීනව එම පද්ධතිය තමන්ගෙ පුද්ගලික පාවිච්චියටත් ගනු ලබයි. ඒ වගේම සිසුන් වෙනුවෙන් අඩු මිලට මෘදුකාංග ලබා දීම මගිනුත් මෘදුකාංග වෙළඳපොලේ තමන්ගෙ කොටස රඳවාගන්න උත්සාහ දරන්නෙ තම සිසුන් විදියට තමන්ගෙ මෘදුකාංග නොමිලේ හෝ සහන මිලට පාවිච්චි කළත් පසු කාලීනව ඔවුන්ට ශිෂ්‍ය ජීවිතෙන් පිටදි මුදල් ගෙවා මෘදුකාංග ලබා ගන්න සිදු වෙන නිසා.

ලිනක්ස් ගත්තම මේ සේරටම වඩා වෙනස්. යුනික්ස් පද්ධතිවලින් පැවතෙන ලිනක්ස් නොමිලේ ලබාගත හැකියි. ඒ වගේම මුදල් ගෙවලා ලබා ගන්න පුලුවන් වෙන පද්ධතිත් නිර්මාණය වෙනවා. නමුත් මේ පද්ධතිය මුල් යුගයේ තිබුනු සංකීර්ණ තත්වය නිසා තවම ජනතාව හිතන්නෙ හරිම සංකීර්ණ ඒ වගේම පාවිච්චි කරන්න අමාරු පද්ධතියක් විදියට. ඒ වුනාට දැන් ලිනක්ස් කියන්නෙ කලින් තිබුනට වඩා බොහෝ දියුණු ඒ වගේම user friendly පද්ධතියක්. සමහර අවස්ථා වලදි මැක්,වින්ඩෝස් වලට වඩා බොහෝ දියුණුයි. ඒ වුනත් ලිනක්ස් කියන්නෙ සර්වර් සඳහා පහසුවෙන් යොදා ගන්න පුලුවන් පද්ධතියක් බව කිව යුතුයි. 

ඉතින් මේ විවිධාකාර පද්ධති නොතිබුණානම් මේ වෙද්දි ලෝකය මේ තරම් දියුණුවක් අත් කර ගනීවිද? 
අපි මොකට තමන් පාවිච්චි කරන පද්ධතිය වර්ණනා කරමින් අනෙක් පද්ධති හෙළා දකිනවාද? හැම පද්ධතියෙම අඩුපාඩු ඒ වගේම හොඳ තිබෙන අතර ඒ අනුව තමන්ට හොඳින් ගැලපෙන පද්ධතිය තෝරා ගත හැකියි.

Saturday, October 19, 2013

ලිනක්ස් මගින් ඩොංගල් අන්ලොක් කරමු.


ඔබ සතුව කිසියම් ජාලයකට පමණක් පාවිච්චි කළ හැකි (අනෙක් ජාලයන්ගේ සිම් පත් සඳහා සහය නොදක්වන) ඩොංගලයක් තියේද? මේ වෙනකොට ඒ ඩොංගල් එක වෙනත් ජාලයක සිම්පතක් මගින් පාවිච්චි කරන්න අවශ්‍ය ද?

sinhala translation is available at unlock network blocked dongles to use any sim card from any operator using linux

කිසියම් ජාලයක් මගින් ඩොංගලය තම ජාලයට පමණක් පාවිච්චි කළ හැකි අන්දමට ලොක් කරනුයේ,
  • වෙනත් තරඟකාරී ජාල වල සිම්පත් මගින් එම ඩොංගලය පාවිච්චි කිරීම වැලැක්වීමට
  • පාරිභෝගිකයා තමන් වෙතම රඳවා ගැනීමට - පාරිභෝගිකයාට වෙනත් ජාලයක සිම් පතක් පාවිච්චි කිරීමට අවශ්‍ය නම් වෙනත් ඩොංගලයක් අලුතින් ගැනීමට සිදුවේ.

ඩොංගල් අන්ලොක් කරන්නේ
  • වෙනත් ජාලයක සිම්පතක් පාවිච්චි කිරීමට
  • මුලින් පාවිච්චි කරන ලද ජාලය පිළිබඳව කළකිරීම නිසා වෙනත් ජාලයකට යාමට
  • වෙනත් ජාල මගින් වඩා හොඳ පැකේජ හඳුන්වා දී තිබීම . (බිල් ගෙවන්නෙ/වියදම් කරන්නෙ අපිනම් අපි මොකටද අපිට අවාසි වෙන පැකේජ පාවිච්චි කරන්නෙ)


පරිස්සම් වෙන්න
  • බොහෝවිට ඩොංගලය අපි ගන්නකොට කිසියම් ජාලයකට බ්ලොක් කරනවා කියන්නෙ අපිට ඒ ඩොංගලය ලැබෙන්නෙ සහන මිලට හෝ නොමිලේ වෙන්න පුලුවනි. මෙහිදි ජාලය විසින් අපි සමඟ ගිවිසුමක් ඇති කරගෙන ඇති කිසියම් කාලසීමාවකට මෙම ඩොංගලය සමඟ ගන්න පැකේජය පාවිච්චි කරනවා කියලා. මේ විදියට ඩොංගල් එක නිකම් දීලා පැකේජ් එකෙන් ආදායම් ලබා ගන්නවා ඩොංගල් එකේ වියදමත් හොයා ගෙන. 
  • ඉතින් ඩොංගල් එක අන්ලොක් කරලා හරි පැකේජ්එක පාවිච්චි කරන එක නවත්තලා දැම්මොත් හරි අපි ඩොංගල් එක ගනිද්දි අත්සන් කරන ලද ගිවිසුම අහෝසි වෙන්න පුලුවනි. එ් කියන්නෙ පැකේජ් එක සමඟ ලැබුනු ඩොංගල් එකට අපි සල්ලි ගෙවන්න වෙනවා. (පැකේජ් එක නිකන්ම අයින් කළත් පසුව ඒ වෙනුවෙන් මාස ගනනාවක් බිල ගෙවන්න සිදු වෙන්න පුලුවනි.)

කොහොම හරි ඩොංගල් එක වෙනත් ජාලයක් එක්ක පාවිච්චි කරන්න පුලුවන් කියන්නෙ අපිට ලොකු වාසියක්. මොකද අපේ රටේ තියෙන ජාල වලින් අපි බලාපොරොත්තු වෙන සේවාව සතුටුදායක මට්ටමින් ලැබෙන අවස්තා සීමිතයි. කිසියම් කාලයක් හොඳ සේවාවක් දෙන ජාලය මාස කීපයකින් ජංජාලයක්  වෙනවා. ඊට පස්සෙ වෙන ජාලයක් එනවා හොඳ සේවාවක් සපයන්න.

අලුත් පැකේජයත් එක්ක ඩොංගල් එක නිකන්ම වගේ දෙනවා වුනත් අපි පරණඩොංගල් එක විසි කරන්නෙ අපිට සල්ලි වැහි වැහැලා කියලා ද? අයියෝ සල්ලි. ඉතින් අපිට පුලුවනි අලුතින් සිම් එකයි පැකේජ් එකයි අරන් පරණ ඩොංගල් එක පාවිච්චි කරන්න.

(I'm using a linux (openSuse) operating system in my Laptop and I encourage other to use Linux on their computers. My dongle had cost me a sum of LKR 7829.99 on December 2009 (with one year warranty) without any plan or agreement but it has blocked to a mobile network operator from using another sim from other operators. Still I'm satisfied with the network but I needed to unlock the dongle for a fun because I needed to know is it could be done by my own.)



වැඩේ පටන් ගනිමු නේද එහෙනම්.

මුලින්ම අපිට ඩොංගල් එකේ IMEI‌ අංකෙ ඕන කරනවා අන්ලොක් කෝඩ් (unlock code) එක හොයා ගන්න. මේ අන්ලොක් කෝඩ් එක හොයා ගන්න උදව් වෙන වෙබ් සයිට් ඕනතරම්. මම පාවිච්චි කළේ ( http://www.mapmyplace.com/calc/ )

ලිනක්ස් පාවිච්චි කරද්දි අපිට බෑ වින්ඩෝස් වලදි වගේ කම්මැලි වෙලා අපේ වැඩේ කර ගන්න. අනික ටොරන්ට් එකකින් හොර කොපියක් බාගෙන දාගත්තා කියලා අපි දන් නෑ නෙව මේ අන්ලොක් කරන ක්‍රියාවලිය වෙන්නෙ කොහොමෙයි කියලා.
මුලින්ම අපි පරිගණකයට දා ගන්න ඕන "මිනි කොම්". මිනිකොම් තමයි අපිට උදව් වෙන්නෙ ඩොංගල් එක අන්ලොක් කරන්න. මිනිකොම් දාන්න බොහොමයක් ලිනක්ස් පද්ධති වල package manager පාවිච්චි කරන්න පුලුවනි. එහෙම නැතිනම් commandline පාවිච්චි කරන්නත් පුලුවනි.

උබුන්ටු නැතිනම් ඩෙබියන් පැකේජ් පාවිච්චි වෙන පද්ධති වලදි ටර්මිනල් එකේ ටයිප් කරන්න

sudo apt-get install minicom

රෙඩ්හැට්/ෆෙඩෝරා වගේ rpm පැකේජ් පාවිච්චි වෙන පද්ධති වලදි ටර්මිනල් එකේ ටයිප් කරන්න(yum installer)su yum install minicom

opensuse (zypper) පාවිච්චි වෙන පද්ධති වලදි ටර්මිනල් එකේ ටයිප් කරන්න
su zypper install minicom


මිනිකොම් දැම්මට අපි හොයා ගන්න ඕන කොයි පෝර්ට් එකේද ඩොංගල් එක පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන්නෙ කියලා. බොහෝවිට ඩොංගල් එක ttyUSB0  හරහා පාවිච්චි වෙනවා.
ටර්මිනල් එකේ මෙහෙම ටයිප් කරන්න. root/super user විදියට හිටියොත් ලේසියි terminal එකේ.
  • "tail -f /var/log/syslog" on debian based systems or 
  • "tail -f /var/log/messages" on rpm based systems 
විධානය දීලා ඩොංගල් එක ගලවලා ගහන්න. පහසුවෙන් හොයා ගන්න පුලුවනි ඩොංගල් එක පාවිච්චිවෙන ස්ථානය.

දැන් මිනිකොම් ආරම්භ කරමු. terminal එකේ superuser/root විදියට ඇවිත් ටයිප් කරන්න

minicom -s

දැන් පෙනේවි මේ විදියට



තෝරන්න "serial port setup". ඊට පස්සෙ මේ විදිය window එකක් පෙනේවි.


 "Change which setting?"ඉදිරියේ A ලබා දෙන්න.මෙතැනදි ඩොංගල් එක සවි වුන ස්ථානය ලබා දෙන්න පුලුවනි.

/dev/ttyS1 ස්ථානය වෙනස් කරන්න අපි හොයා ගත් ඩොංගල් එක සවි වුනු ස්ථානයේ අංකයෙන්. (මගේ නම් /dev/ttyUSB0)



 "Change which setting?" ඉදිරියේ E යොදලා Bps/Par/Bits මෙනුවට යන්න.

9600 තෝරාගන්න C යොදන්න  "Choice, or <enter> to exit කියන තැන.


කළින් මෙනුවට යන්න "enter" ඔබන්න.

දැන් පෙනේවි මේ විදියට serial device කියන තැනටයි Bps/Par/Bits තැනටයි අපි දුන්නු අගයන් ඇවිත් තියෙනවා.



"esc" ගහලා ප්‍රධාන මෙනුවට යන්න.

"modem and dialing" select කරන්න


මෙතැනදි මොඩමය අඳුරගන්නා බව පෙන්වයි. පසුව esc මගින් ප්‍රධාන මෙනුවට යන්න. exit තෝරන්න.


ප්‍රධාන මෙනුව අයින් වෙලා මේ විදියට පෙන්වාවි.


ඉතින් මෙතැන ටයිප් කරන්න අපේ ඩොංගල් එකේ අන්ලොක් කරන්න ඕන විධානය.


AT^CARDLOCK="12345678"

මේ විධානය කැපිටල් අකුරින් සටහන් වෙන්න ඕන. උපුටාගැනීමේ කොමා දෙක අතර සොයාගත් අන්ලොක් කෝඩ් එක ටයිප් කරන්න. මෙහිදී කොමා දෙකත් අනිවාර්යෙන්ම ටයිප් වෙන්න ඕනි. 12345678 වෙනුවට ඔබේ ඩොංගලයේ අන්ලොක් කෝඩ් එක යොදන්න.

enter එබුවාම ok කියලා ප්‍රදර්ශණය වේවි හරියට අන්ලොක් වුනා නම්.



AT^CARDLOCK="12345678"     
OK                                              


දැන් ඉතින් අනෙක් සිම් කාඩ් එක දාලා වැඩ කරනවාද බලන්න.

පලි-
thank you Girobiro's blog for the article about "Unlock 3G USB Dongles in Linux" helping me to get an idea how to unlock my dongle.






Related Posts with Thumbnails