Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, May 17, 2015

ගමෙන් පන්සලට.. පන්සලෙන් ගමට.. තෝරා ගැනීම තමන්ගේ අයිතියයි.

වෙසක් බලන්න ගියාද? දන්සල් වැන්දද? අනිවාර්යෙන්ම. 
ගමේ පන්සලට ගිහින් මලක් පහනක් පූජා කළාද? වෙසක් බලන්න ගියා නෙ. ඒ නිසා බැරිවුනා. 

මේ ඔබේ පිළිතුර නොවෙන්න ඇති. ඒ වුනාට සමහරෙකුගේ පිළිතුරක් වෙන්න පුලුවනි. ඉස්සර අපේ ගම්වල මිනිස්සු ජීවිතේ ගොඩනගා ගත්තේ පන්සල කේන්ද්‍ර කරගෙන වුනාට දැන් අපේ ජීවිත ගොඩනැගෙන්නේ ගෙදර ටීවී එක වටේ. එහෙම නැතිනම් මුහුණුපොත-fb එකේ. 

වරදක් කියන්න බෑ නෙ. මොකද තෝරා ගැනීම තමන්ගෙ අයිතියනෙ. ඉතින් පන්සලට යන දායකයින්ගෙ ප්‍රමාණය දවසින් දවස අඩු වෙනවා. 

ඉස්සර ගමේ මිනිස්සු උදේට දවල්ට කෑවෙ පන්සලේ හාමුදුරුවො දන්වැළදුවද කියලා හොයලා බලලා. ඒ වුනාට දැන්.. පන්සලේ ගොදුරුගමේ තියෙන ගෙවල් වලට දවස් වෙන් කරලා පන්සලට දානය පිරිනමන්න පහසුකම් සලසලා තිබුනට දැන් පන්සල් වල හාමුදුරුවරුන්ට දානය වරදින දවස් බොහොමයි. සමහර අය එදාට ගෙදරත් නෑ. මොකද දානෙ දවස අමත වෙලා කොහෙ හරි ගිහින්. ඉතින් හාමුදුරුවො උයාගෙන කන්න වෙනවා පන්සල ඇතුලෙම. මේ සිදුවීම හොදට දන්නෙ පන්සලට ආසන්නයේම ඉන්න දායකයින්. 

ගමේ පන්සලට අපිට ඕනවෙලාවක යන්න පුලුවනිනෙ. පයන් යන දුරනෙ. අතන තියෙන්නෙ ලෝකෙ ලොකුම පිළිමෙ. ඒක බලන්න බැරිවුනානෙ. ගමේ පන්සලේ පිළිමෙ අපි දැකලා තියෙනවානෙ. පන්සලේ හාමුදුරුවන් උත්සාහ කරනවා මිනිස්සුන්ට දකින්න - දැකලා සතුටු වෙන්න යමක් කරලා දායකයින් පන්සලට ගෙන්වා ගන්න. ඇත්තටම මම දන්නෙ නෑ ලෝකෙ ලොකුම පිළිමෙට වැන්දත්/පූජා කළත් පොඩි පිළිමෙට වැන්දත්/පූජා කළත් ඒ දෙකේ වෙනස මොකක්ද කියලා.

දැකලා ඇති පන්සලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ආධාර එකතු කරනවා. සංවර්ධන කටයුතු වල ඉවරෙකුත් නෑ. එකක් ඉවර වෙද්දි තව එකක්. ඉවරවුනු එක ගේට්ටු දාලා ඉබියතුරු දාලා වහලා තියෙනවා. දකින්නවත් ලැබෙන්නෙ එහෙමත් දවසක. දායකයින් පන්සල වෙතින් ඈත් වෙන්න ප්‍රධානම හේතුව මම දකින්නෙ ඉවරයක් නැති සංවර්ධන කටයුතු. ගමේ පන්සල යම් ප්‍රමාණයකට සංවර්ධනය කළාම ගමේ පන්සලේ නෑ කියලා අනික් පන්සල් වල තියෙන හැමදේම ගමේ පන්සලේ හදනවාට වඩා පන්සලින් ගමට යමක් කරගන්න ගමේ මිනිස්සු දැනගන්න ඕන. 

තවත් දෙයක් සමහර පන්සල් වලදි අපි දකින්නෙ ගමේ ඉන්න කාන්තාවන් විතරයි පන්සලේ මොන උත්සවයක්/පිංකමක් තිබුනත් පන්සලට එන්නෙ. මේකට හේතුව ගෙවල්වල පිරිමි අය රස්සාවට යාම විතරක්ම නොවන බව පැහැදිලියි. 

දැන් ලංකාවෙ විවිධ නිකායන් හා විවිධ පන්සල් වටා හැදුනු සංස්කෘතියන් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ සංස්කෘතියට පිටින් තියෙන සංස්කෘතියෙ කෙරෙන හැමදේම වැරදි. ඉතින් මම ඉන්න සංස්කෘතිය, මම දරන මතයන් එක්ක අනික් දේ වැරදියි.  

ගමේ පන්සලේ හාමුදුරුවන්ව මළගෙදරකදි පාංශුකූලෙ දෙන්න විතරක් හමුවෙන කෙනෙක් කරගන්නෙ නැතිව පොඩ්ඩක් පන්සලින්/පන්සලේ හාමුදුරුවන්ගෙන් ගමට,මිනිස්සුන්ට යමක් සිදුකරන තත්වයට පත් කරගන්න ගමේ දායකයින් එකමුතු වුනොත් පුලුවන් වේවි. 

නැතිනම් ඉතින් ගමේ පන්සල විතරක් නෙවි නගරෙ පන්සලත් අපිට නැති වුනාම තමයි අපිට දැනෙන්නෙ අපි කරගත්තෙ මොකක්ද කියලා. නැතිනම් දවසක් ඒවි අපිට බුදුදහම වැළදගත්තු විදේශිකයින්ගෙන් බුදුදහම ඉගෙන ගන්න සිදුවෙන.  අනික් ආගම් වලට බැන බැන ඉන්නවාට වඩා ගමේ පන්සලත් හාමුදුරුවනුත් ගමේ මිනිස්සුත් අතර සම්බන්ධය නිසිආකාරව පැවතුනොත් බුදුදහම නිසා අපේ ජීවිත ආලෝකමත් වේවි. (හාමුදුරුවන්ගෙ වැඩ විවේචනය කරන්න ගිහියන් විදියට අපිට අයිතියක් නෑ. මොකද හාමුදුරුවො ගිහියන්ට වඩා වෙනස් සමාජයක/සමාජතලයක ඉන්න නිසා විවේචනයන්ගෙන් ගිහියන්ට සිදුවන අනර්ථය වැඩියි මම හිතන විදියට) 

කෙටියෙන් අපිළිවෙලට කියපු මේ දේවල් මොනවා වුනත් තමන්ගේ ජීවිතයට අදාල දේ තෝරා ගැනීම තමන්ගේ අයිතියයි. 



පින්තුරය - http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1252/edward-jayakody-game-pansala-ape-pansala-apekama-rakka.html

No comments:

Post a Comment

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails