Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Wednesday, May 1, 2013

අභිනික්මන [ චිත්‍රපට විචාරයක් නොව, නමුත් මගේ සිතුවිලි බිඳක් ]

අභිනික්මන... මේ ළඟදි දවසක ප්‍රදර්ශණය කරන්න පටන් ගත්තු තවත් සිංහල චිත්‍රපටයක්..
තවත් කීවෙ අපි හැමදාම දකින රාමුවෙන් පිට පැනලා උඩුගම්බලා පිහිනන චිත්‍රපටයක් විදියට පෙන්නුවත් අනෙක් චිත්‍රපටි වලින් වෙනසක් දකින්න වෙන්නෙ ඉතාමත් සුලු කාරණා කීපයකින් නිසයි.

මුලින්ම බැලුවම නම ගැන.. මම දැක්කා එකම නම ආකාර තුනකින් යොදාගෙන තියෙනවා . අභිනික්මන, අභීනික්මන, අබිනික්මන. විශේෂයෙන්ම පෝස්ටර් වලදි මේ ආකාර තුනම දකින්න ලැබෙනවා.. සමහරවිට මම නොදන්නවා වුනාට මේ ආකාර තුනෙන්ම කියැවෙන්නෙ අදහස් වෙන්නෙ එකම තේරුමක් නම් මේ කොහොම භාවිතා වුනත් ගැටලුවක් තියෙන්න බෑ..

මීළඟට තේමාව ගත්තම මවුපිය උපස්ථානය ඉතාම අගනා කාලෝචිත මාතෘකාවක්. සිවුරු දැරුවත් ගිහියෙක් වුනත් එය මවුපියන් වෙනුවෙන් තම උපරිමය කරන්න බාධාවක් නොවන බව පෙන්වා දෙනවා. සිවුරු දරමින් තම මවුපියන් වෙනුවෙන් කළහැකි දේ සීමා සහිත බව දැක සිවුරු හැරීම ත් තම යුතුකම අවසන නැවතත් සසුනට එක්වීමත් තුල කතාව ගලා යාම තුළ ප්‍රේක්ෂකයා ඇදබැඳ තබාගන්නා ආකාරය ඉතාම සාර්ථකව සිදුකර තියෙනවා..  සිවුරුහැරීම තුලින් අපට මුලින්ම සිතෙන්නේ තරුණිය සමඟ ප්‍රේම කරන්න පටන්ගෙන ඒ දෙන්නාගේ විවාහය තුලින් චිත්‍රපටය අවසන් වේවි කියා වුනත් ඉතා සාර්ථකව ප්‍රේක්ෂකයා ඇදබැඳතබාගෙන නිමාව සිදුකරන්න පිටපත මනා කාර්යයක් සිදුකර තියෙනවා.. මෙහිදී තරුණියගේ චරිතය තුලින් ප්‍රධාන නළුවාගේ දැඩි අධිෂ්ඨානය හා හික්මීම පෙන්වා දී තිබීම තුලින් චරිතය තුලට ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගන්නා ආකාරය විශිෂ්ටයි.

නමුත් මෙහිදී මම දැකපු සමහර දේවල් මට පේන්නෙ සැබෑ සමාජ පැතිකඩක් පෙන්වා දීමක් විදියට වුනත් ඒ පෙන්වා දීම තුලින්ම එම සමාජය භික්ෂු සමාජය සාමාන්‍ය කරණය කරගන්න පෙළඹවීමක් සිදුකරන බවයි.  සමහර තැන්වලදී ගිහියෙක් කෙරෙහි ගිහියෙක් කරන වචන භාවිතයක්  භික්ෂුව කෙරෙහිත් යොදාගත් අයුරු පෙනී යනවා. එතැනින් සමාජය මේ අන්දමින් වචන භාවිතය සාධාරණීකරණය කරන්නට පෙළඹීමක් ඇතිකරන්න පුලුවනි. තවද එතැනින් සංඝ සමාජය කෙරෙහි සමාජ ගෞරවය අඩුවීමක් සඳහාද පෙළඹීමක් ඇති කරාවි. සාමාන්‍යෙයන් පිරිතකට බණකට වැඩම කරද්දි ධර්ම කරුණු වගේම බොහෝ කරුණු ගැන අවබෝධයක් නොමැති භික්ෂුවකට ඒ සඳහා තනිවම වැඩම කරන්න පන්සලේ නායක හිමියන්ගෙන් අවසර ලැබෙන්නේ නැති වුනත් මෙහිදී බණට වැඩම කරන ලද හාමුදුරුවන් පත්වන අපහසුතාව සැබෑ සමාජයේ කෙදිනකවත් දකින්න පුලුවන් සිදුවීමක් නොවෙයි..

සමස්ථයක් ලෙස ගත්තම හොඳ තේමාවක් වටා හැකිතාක් සංයමයකින් ගොඩනැඟුනු චිත්‍රපටයක් විදියට දකින්න පුලුවනි.

ලංකාවේ චිත්‍රපට කර්මාන්තය පසුබෑමකට ලක් වෙලා තියෙන්නෙ ඇයි කියන එකට හේතු විදියට දක්වන්න පුලුවනි රැල්ලක් විදියට එකම තේමාවක් වටා ගොඩ නැගුනු චිත්‍රපටි එක පෙළට නිකුත්වීම. මොකද ලංකාවෙ බොහෝ චිත්‍රපට විදේශ චිත්‍රපට වල සිංහල පිටපත් විදියටයි නිකුත් වෙන්නෙ. එහෙම නැතිනම් විකට චිත්‍රපටයක්,  ළමා නළුනිළියන් එක්කර තනන ලද වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් , ආගමික තේමාවක් සහිත චිත්‍රපටයක් නිකුත් වූ විට ඒ තේමාව වටා නිර්මාණය වුනු චිත්‍රපට රාශියක් දිගින් දිගටම නිකුත් වීම තුලු ප්‍රේක්ෂකයා චිත්‍රපට ශාලා වලින් ඈත් කරනු ලබනවා. (මොකද  චිත්‍රපට නරඹන්න එන ප්‍රේක්ෂකයා සාමාන්‍යයෙන් චිත්‍රපට ශාලාවේ නිත්‍ය ප්‍රේක්ෂකයෙක් වෙන නිසා එකම තේමාවේ චිත්‍රපට කීපයක් නැරඹීමට ප්‍රේක්ෂකයා උනන්දු නොවන නිසා) . එමෙන්ම චිත්‍රපට ශාලා වල ගුණාත්මක බව මෙන්ම සනීපාරක්ෂක පහසුකම් ගැනත් තාක්ෂණ භාවිතය, වායුසමනය ගැනත් අවධානය යොමු විය යුතුයි. නව ප්‍රේක්ෂකයන් ශාලා වලට ඇද ගැනීමට චිත්‍රපට කර්මාන්තය මේ තත්වයෙන් තිබුනොත් අපහසුයි.

3 comments:

  1. ළමා නළුනිළියන් එක්කර තනන ලද වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් ???

    ReplyDelete
  2. ඒ කතාවේ ඇත්තක් තියෙනවා තමයි . ලංකාවේ හදන ළමා චිත්‍රපට ඔක්කොම වාගේ ලමයින්ව රඟපාන්න දාලා, දෙමව්පියන්ට විකුණන්න හඳන උප්පරවැට්ටි . බුවා, හොදට කල්පනා කරල බලන්න එහෙම නෙමේද ? කියලා . දෙබස්, හැඟීම්, රංගනය ඔක්කොම වැඩිහිටියන්ගේ . එතන ළමා ලෝකයක් කොහෙත්ම නෑ . ළමා කියල ගහගත්තොත් ඕනැ කුණුජරාවක් විකුණගත්තැකි. දරුවන්ව තනියෙන් යවන්න බෑනේ. ඉතිං පවුල පිටින් තමා යන්නේ .අයියෝ සල්ලී .

    ReplyDelete
  3. @බුවා..@චිත්‍රක... ඇත්තටම තේමාව ගත්තම තියෙන්නෙ කොටු පැනීම් වගේ දේවල් තේමා කරගත් චිත්‍රපට.

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails