Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Sunday, February 17, 2013

කඩුවට (ඉංගිරිසියට) බය වෙන්න දෙයක් නෑ..

අයියා මට නම් මිස් කතා කරන තරම් හොඳට ඉංග්‍රිසි කතා කරන්න බෑ. ඒ වුනාට සුද්දෙක් ඇවිත් කතා කරද්දි මිස් ට වඩා ලේසියෙන් සුද්දා කියන දේ තේරුම් ගන්න පුලුවනි. 

මොකද මෙතැනට එන සුද්දන්ටත් හරියට ඉංග්‍රිසි බෑ. මටත් බෑ. අපි දෙන්නම කතා කරන්නෙ ගොලුභාෂාවත් කලවම් කරල කැඩුනු ඉංග්‍රිසියෙන් නෙ. 

මේ කතාව මට කීවෙ අපේ ශාඛාවෙ පුහුනුවට ආපු මල්ලි කෙනෙක්. ඒ මල්ලි විදේශ මුදල් හුවමාරු කරන තැන වැඩකරද්දි එතැනට ආපු විදේශිකයින් එක්ක මිස්ට වඩා ලේසියෙන් ගනුදෙනු කරන්නෙ කොහොමද කියලා අපි අහනකොට තමයි මෙහෙම කීවෙ .

ලංකාවෙ රාජ්‍ය භාෂාව මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත් කවුරුත් කියාවි "සිංහල" කියලා. අපි බොහෝදෙනෙක්ගෙ මවුබස සිංහල. ඒ වුනාට අපි අත්දැකීමෙන් දන්නවා ලංකාවෙ ජීවත් වෙද්දි අපිට සිංහල වගේම ඉංග්‍රිසිත් අනිවාර්යෙන්ම දැනගන්න වෙනවා කියලා. මොකද අපි රජයේ ආයතනයකට ගියත් පුද්ගලික ආයතනයකට ගියත් සම්මුඛ පරික්ෂණයකට ගියත් අපිට ඉංග්‍රිසිය ඕන වෙනවා අනිවාර්යෙන්ම.

අනගාරික ධර්මපාලතුමා මීට අවුරුදු ගානකට කලින් කීවා සුද්දො අපේ රට අතෑරලා යනදාට කලුසුද්දො අපේ රට පාලනය කරාවි කියලා. ඒ වගේ ම අපේ සමාජය හැඩගැහිලා තියෙන්නෙත් පිටරටට ආවඩන අපේ දේ පහලට දාලා සලකන ආකාරයට.

නමුත් අපි හිතුවට අපිට ඉංග්‍රිසි බෑ කියලා ඒ අපි අපව අවතක්සේරු කරගන්න අවස්තාවක් විදියටයි මම නම් දකින්නෙ. අපි අතර ඉන්න ඉංග්‍රිසි කතා කරන අය නිසයි අපි ඉංග්‍රිසියට බය වෙලා තියෙන්නෙ.  අපි අතර ඉන්න ලාංකිකයො හිතන්නෙ ඉංග්‍රිසියෙන් කතා කරන්න නම් ව්‍යාකරණ හරියට දැනගෙන ඒවා පාවිච්චි කරන්න ඕන කියලා. ඒත් හොයලා බලන්න ඉංග්‍රිසි ජාතිකයෙක් හරි විදේශිකයෙක් හරි අපි කැඩුනු ඉංග්‍රිසියෙන් හරි ව්‍යාකරණ වැරදි ඉංග්‍රිසියෙන් හරි කතා කරා කියලා අපේ අඩුපාඩුවට හිනා වෙන්නෙවත් අපි එක්ක කතා නොකර ඉන්නෙවත් නෑ. එයාලා තේරුම් ගන්නවා අපි මොකක්ද කීවෙ කියලා අපේ ව්‍යාකරණ වැරදුනත්.

තවත් දෙයක් අපි හිතුවට අපේ රටට පිටරටින් එන හැමෝටම ඉංග්‍රිසි පුලුවන් කියලා ඒ ගොඩ දෙනෙක්ටත් ඉංග්‍රිසි නිවැරදිව කතා කරන්න බෑ. අපි ඉංග්‍රිසි පාවිච්චියට බය වුනාට අපි අතර ඉන්න බස්රථ සේවකයින් බොහෝදෙනෙක් බය නැතුව ඉංග්‍රිසි කතා කරනවා විදේශිකයින්ට වඩා හොඳට. ඒක මම දකින්නෙ ඒ අය වැරදි වැරදි හරි පහුබහින් නැතිව ඉංග්‍රිසි කතා කරන්න පෙළඹීම කියලායි.

Sunday, August 5, 2012

ජීවත්වෙන්නෙ මුදල් හොයන්න නොවන බව තේරුම්ගත්දාට මිනිස් ජීවිතවලට විශාල සහනයක් සතුටක් දැනේවි...

දවසින් වැඩි කාලයක් ගෙවෙන්නෙ සල්ලි එක්ක. ඒ අතරෙ විවිධාකාර මුහුණු මුනගැහෙනවා. විවිධාකාර මුහුනු කීවෙ ඒ මුහුනු වලින් පෙනෙන හැඟීම් විවිධාකාර ස්වරූප ගන්න නිසයි.

ඉතින් ඒ අය තමන්ගෙ මුදල් විවිධාකාරයට වියදම් කරමින් තමන්ගෙ ජීවිතේ ගෙනියනවා.

නමුත් අපි දකින දෙයක් තියෙනවා සමහරු මුදල් සෙවීම තමන්ගෙ ජීවිතේම වගේ හිතාන මුදල් උපයනඑක ගැන විතරක්ම හිතාන ජීවත් වෙනවා.

මට හිතෙන විදියටනම් අපිට මුදල් අවශ්‍යයි. ඒ ජීවත් වෙන්න. අපේ ජීවිතේ ගත කරන්න අවශ්‍යතා ඉටුකරගන්න. අපි කොච්චර මුදල් එක්රැස් කලත් වැඩක් නෑ ඒවා වියදම් කරන්න අවස්තාවක් නැත්නම්. පැහැදිලිව කියනවානම් අපිට ජීවිතේ විඳින්න අවස්තාවක් ලැබෙන්නෙ නැතිනම් අපි අතේ තියෙන මුදල්වලින් කිසිම වැඩක් නැතිව යනවා. අපිට ගෙවල්දොරවල් යාන වාහන කොච්චර තිබුනත් ජීවිතේ සතුට කියන්නෙ ඒ භෞතික දේවල් විතරක්ම නොවන බව තේරුම් ගන්නකන් මුදල් පසුපස හඹායන ජීවිත වලට සැබෑ සතුටක් සැනසුමක් ලැබෙන්නෙ නෑ.

මුදල් හොයන්නෙ ජීවත්වෙන්න මිසක් ජීවත්වෙන්නෙ මුදල් හොයන්න නොවන බව තේරුම්ගත්දාට මිනිස් ජීවිතවලට විශාල සහනයක් සතුටක් දැනේවි...

Tuesday, July 3, 2012

ඒවුනත්.. ඉස්සර තිබුනු නිදහස් ජීවිතේ?

රස්සාවට ගිහින් අවුරුදු දෙකකුත් වුනා.
අවුරුදු දෙක ඉවරවෙනකොටම ලැබුනු ස්ථානමාරුව ජීවිතේ මේ තරම් වෙනස්කරාවි කියලා හීනෙකින්වත් නොහිතුනු හැටි...

හැමදාම හවසට ගෑනුළමයාත් එක්ක මල් කඩපු එකත් අඩුවෙලා..
හවසට නවාතැනට යන්නෙ හරිම මහන්සියකින්..
ගිය ගමන් කන්න තියෙන දෙයක් කාලා ගන්නවා කෝල්එකක් ගෑනුළමයාට.. විනාඩි පහක් විතර කතා කරලා මහන්සියි කියලා නිදා ගන්නවා..
උදේ නැගිටලා රස්සාවට යනවා.. රෑෙවලා නවාතැනට යනවා..
තව මාස කීපයකින් හොඳ පඩියකුත් ලැබෙන්න පටන්ගනීවි..


ඉස්සර හවස හතරහමාර පහ විතර වෙද්දි ගෙදර ආව මම දැන් ගෙදර එන්නෙ සතියකට වතාවක්.
සතියෙ දවස් පහක් නිවසින් පිට නවාතැනක..
දැන් නවාතැනට යද්දි හවස හත පහුවෙනවා. ඒ වුනාට ඒ නවාතැන්පල තියෙන්නේ රැකියාව කරනතැන ඉඳලා මීටර 500ක්වත් නැති දුරකින්..
කෙනෙක් හිතාවි අපි වැඩිපුර වැඩ කලාම අතිකාල ගෙවනවා නේද කියලාත්..
ඒක ඇත්ත. අපිට අතිකාල ගෙවනවා. මාසෙ පඩිපතට සමාන මුදලක් වුනත් අතිකාල වලින් හොයන්න පුලුවනි..

ඒවුනත්.. ඉස්සර තිබුනු නිදහස් ජීවිතේ?
අපි සල්ලි හොයන්නෙ ජීවත් වෙන්න නේද? ඒ වුනත් සල්ලි කොච්චර හෙව්වත් වැඩක් වේවිද මේ වගේ නිදහසක් නැති ජීවිතයක් ගතකරලා.. ගොඩක් උත්සාහ කරලා හැමදේම සතුටින් විඳගන්න කරපු උත්සාහයන් තව තවත් නිදහස නැතිවෙන තැනට පත් කරලා.



Saturday, January 14, 2012

ජීවිතයට සතුට ළඟා කරද්දි එය වදයක් වගේ හිතෙනවානම්..

ජීවිතයක් අදුරින් එළියට ගන්න උදව් කරන එකත්
ජීවිතයට මාර්ගය විවෘත කරලා දෙන එකත්
හොඳ පින්කමක්...

ඒ පින්කම හැමෝටම කරන්නත් බෑ.. ඒ වුනත් උවමනාව තියෙනවානම් ඕනැම කෙනෙකුට කරන්න බැරිකමකුත් නෑ..

ජීවිතයට සතුට ළඟා කරද්දි එය වදයක් වගේ හිතෙනවානම්..
එතැන තියෙන්නෙ නොලැබීම මිසක් වෙන මොකක්ද?

අයාලේගිය , හීන ලෝකයේ සැරිසරමින් තිබුනු ජීවිතය
නිසිමඟට යොමු කරවනඑකත් කරන්න පුලුවන් වෙන්නෙ එහෙමත් කෙනෙකුටයි..

ඒ වෙනුවෙන් ඉවසීම කොතරම් උවමනා වේවිද?
ඒ වගේම අවබෝධය..?

අනෙකාට ගරුකරන්නත් ඇහුම්කන්දෙන්නත් ඒ වගේම තමන්ගෙ වැරදි අඩුපාඩු නිහතමානිව අවබෝධ කරගෙන ඒවා නිවැරදි කරගන්න පුලුවන් වෙන්නෙත් එහෙමත් කෙනෙකුටයි
ඒ අය කොතරම් සාර්ථකත්වයක් අත් කරගන්නවාද කාලයත් සමඟම

කතාවක් තියෙනවානෙ පවට පින් දෙන්න බෑ කියලත්..

Wednesday, January 4, 2012

හීන දකිමින් සිටි ලෝකය ආගිය අතක් නැතිව ඇතිසෙයකි..

හීනෙන් දකින්නෙ
අපේ හිතේ තියෙන ලෝකය
සැබෑ වුනා වගෙයි
නමුත් හැබෑ ලෝකයේදි ඒ හීනය
සැබෑවක්ම වෙමින් පැවතී
බිඳවැටුනු විට
ලෝකයම විනාශවුනේයැයි හැඟී
හැම දෙයක්ම එපාවී ගියත්
ඒ බිඳවැටුනු ලෝකයෙන් එපිට
තවත් ලෝකයක් තිබෙන බව පෙනෙන විට
හීන දකිමින් සිටි ලෝකය
ආගිය අතක් නැතිව ඇතිසෙයකි..

Saturday, December 10, 2011

හිත ගිය තැන මාළිඟාව....

සාර්ථකවීම් අසාර්ථකවීම් රාශියක් අතරින් මේ දවස්වල ජීවිතේ ගලාන ගියාට හිතේ සතුටක්ද අසතුටක් ද තියෙන්නෙ කියලා හිතාගන්නවත් බැරි තත්වයක මම හිරවෙලා...
ඒ අතරෙ මානව සම්බන්ධතා පැවැත්වීම අපේ රැකියාව නිසා අපි හමුවට එන අය තරහා නොවන ආකාරයට ඒ අයත් එක්ක ගනුදෙනු කරන්නත් වෙනවා
සමහර ගනුදෙනුකරුවන් කරන කියන දේවල්වලදි කොච්චර තරහා ගියත් ඒ බව නොපෙන්වා හිනාවෙලා මිත්‍රශීලීව කතා කරන එක දැන් නම් ගොඩක් දුරට ඇඟටම බද්ධ වෙලා වගේ. ඒ වුනත් සමහර අවස්ථා තියෙනවා අපි උවමනාවට වඩා පාගන්න එන අවස්ථා. ඒ වගේ වෙලාවන්වලදි ඇඟට නොදැනී ඒවා නවත්තන්නත් අමාරුම වුනොත් කෙලින්ම මොනවා හරි කියලාදාන්නත් සිද්ධ වෙනවා. ඒ වගේ මොහොතවලදි කපටිකම කියන දේ ගොඩක් උපකාරි වෙනවා මට නම්. මොකද හිනා වෙන ගමන්ම අදාල තැනට හරියටම වදින විදියට කතාකරන්න කපටිකම ඉතාමත් වැදගත් මට නම්.
ඒ අතරෙ උදේ ඉඳන් ආතතිය මැද ගෙවන ජීවිතයට වෙනසක් එක් කරන්නත් සමහරු උත්සාහ කරනවා එක එක විදියෙ උදව් අපිට කරන්න ඇවිත්.  ඒ උදව් එපා කියන්න කොච්චර උත්සාහ කරත් ඊළඟ වතාවෙත් ඇවිත් ඒ ගැනමයි කතාව. මට ගැලපෙන ගැහැනුළමයෙක් හොයන වැඩේ මටත් හොරෙන්ම වෙනත් අයට පවරලා මගෙත් එක්කම ඉන්න කෙනෙක්. මට කිසි දෙයක් කරන්න එපාලු. ඒ අය උත්සාහ කරලා මට ගැලපෙන කෙනා හොයන්නම්ලු. එතකොට මට තියෙන්නෙ ඒ  අය හොයලා දෙන කෙනාට කැමති වෙන්න විතර(ද)? මම බලාපොරොත්තු වෙන්නෙ කොහොම කෙනෙක්ද කියලා ඒ අය දන්නවා ද? මේ වැඩ වලින් අන්තිමට වෙන්නෙ මාව චාටර් වෙනඑක කියලානම් මට ෂුවර්. ඒත් ඉතින් මේ මිනිස්සුන්ට එපා කීවාට අහන එකක්යැ. කොහේහරි ඉන්න අවුරුදු 26ක් 27ක් වෙන කෙනෙකුගෙ විස්තර හොයලා මට කියනවා. දැන් ඒක හැමෝගෙම විනෝදාංශය වෙලා වගේ. එක්කො ඒ කියන කෙනාව මට මුනගැස්සුවානම් අඩුගානෙ මුනුපොතේ මිතුරුකැලට එකතුකරගන්නවත් තිබුනා.

අද හවස මම යාලුවෙකුගෙ ගෙදර ගිය වෙලාවෙ දි මේ ගැන කතා කරද්දි යාලුවාගෙ අම්මා නම් කීවෙ " ජීවිතේ සමහර අවස්ථා තියෙනවා අපිට ඒ අවස්ථා ලැබෙන්නෙ සීමිත කාලයයි. ඒ කාලය තුලදි අපි ඒ අවස්ථාවලින් ප්‍රයෝජන නොගත්තොත් පසුකාලයකදි ඒ අවස්තාව ලබා ගන්න අමාරු වෙනවා. සමහරවිට නොලැබී යන්නත් පුලුවන්. " කියලායි. ඒ කියන්නෙ මේ අවස්ථාව මම පාවිච්චි කරන්න ඕන කියන එකද?
ඒ වුනාට හිත ගිය තැන මාළිඟාව කියනවානෙ. බලමු ඉස්සරහට අලුත් මාලිඟාවක් හදන්න අත්තිවාරමක් දාන්න වේවිද පරන අත්තිවාරමෙන්ම මාළිඟාව ගොඩනගන්න පුලුවන් වේවිද කියලා..

Monday, October 31, 2011

ඒ අතරෙ මතක් වෙනවා විභාගෙ ළඟයි නේද කියලා

ලබන සතිඅන්තෙ විභාගෙලු..

ප්‍රොජෙක්ට් එක.. තවම බාගෙට කරලා තියෙන්නෙ..
විභාගෙන් පස්සෙ ඒකත් සබ්මිට් කරන්න ඕනලු..

උදේ නැගිටින්නෙ.. අදනම් පුලුවන් ඉක්මනට ගෙදර ඇවිත් පාඩම්කරනවා කියලා හිතාන..
බ්‍රාන්ච්එකෙන් එලියට එන්නෙත් ඉක්මනට ගෙදරගිහින් පාඩම්කරන්න හිතාගෙන..

ඒත් ගෙදර ආපුගමන් ලැප්එක ඔන් කරගෙන හෝම්පේජ්ටික ලෝඩ් කරගන්නවා..
ටික කියලා කිවෙ.. මුනුපොතයි, ගුගල්රීඩරෙයි
ඊට පස්සෙ ඉතින් ඕපාදුප ටික කියවකියව ඉන්නවා

ඒ අතරෙ මතක් වෙනවා විභාගෙ ළඟයි නේද කියලා
ඉතින් ඒ වෙලාවට හිතනවා හෙට උදේම නැගිටලා පාඩම් කරන්නම් කියලා
රෑ වෙනකන් ඇහැරිලා ඉඳලා නිදාගෙන උදේ නැගිටලා හිතනවා හවස පාඩම් කරන්නම් කියලා

බලානයද්දි මම කරන්නෙ පාඩම් කරන්න වෙලාව වෙන්කරන එක විතරයි වගෙයි.


Related Posts with Thumbnails