Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Tuesday, July 19, 2011

හීනය මුල පටන් ....


හීනයක්
දුටිමි මම හීනයක්
එකක් නොව කීපයක්ම
සැබෑ කළහැකි හීන අහුරක්ම
එම හීන අහුර
පොතක් ලෙස
එක්රැස් කලෙමි මම

නමුත් ඒ අතරින්
එක් පිටුවක්
අස්ථානගත වී ය

එබැවින්
එම හීනය
සැබෑවක් නොවන
හීන පොකුරට
එක් කළෙමි මම


එම හීනය
නැවත
මුලපටන්
දැකිය යුතු වග
හැඟෙන විට
පමාවූවා වැඩියැයි ද
හැඟේ මට.

Thursday, July 14, 2011

මම කොහොමද වෙනත් කෙනෙක් වෙන්නෙ ?


මම
ඔව් ඉතින් මම තමයි
කවුද කීවෙ මම අහවලා වගේ කියලා
මම කොහොමද වෙනත් කෙනෙක් වෙන්නෙ

බලන්න
මම
දකින්නෙ මගේ ඇස්වලින්
මගේම කෝණයෙන්
හිතන්නෙ මට ම අදාල විදියට
මගේ ම විදියට

ඉතින් සිතුවිලි ත් මගේ

නමුත්
කලින් හිටපු මම නොවෙයි
දැන් ඉන්නෙ

කලින් මම හිටියෙ
අතීතයේ
දැන් මම ඉන්නෙ
වර්තමානයේ
තව මොහොතකින්
අනාගතයේ

ඉතින් හැම විටම
මම වෙනස් කෙනෙක්

උත්සාහ කළෙමි
මම
වෙනත් කෙනෙකු වෙන්නට

සෙවුයෙමි
මම කොහිදැයි

හමුවිය
මොහොතකින්
මාහට
මම
මම
මම ම බව
හැඟී ගිය විට
උත්සාහ කළෙමි
මම
මම ම
වන්නට

ඒ
මම
මම ම වන එක
වෙනත් කෙනෙකු වනවාට වඩා
හොඳ යැයි හැඟුනු නිසා


ඒත් මම මම මයි
වෙනත් කෙනෙකු නොවන
මම
මගේ ම විදියට හිතන
මම
මගේම විදියට ජීවත් වන
මම

Monday, July 11, 2011

උයන එක ගැහැණු අයට අයිති වැඩක්. අපි ඒවාට මැදි වෙන්න ඕන නෑ.


උයන එක ගැහැණු අයට අයිති වැඩක්. අපි ඒවාට මැදි වෙන්න ඕන නෑ.

මේ තියෙන්නෙ සමහර පිරිමි අය ගෙවල් වලදි හිතන විදිය.

මම දවසක් අපේ අක්කා කෙනෙකුගේ ගෙදර ගියපු වෙලාවක ඒ දෙන්නා එක්ක කතා කර කර ඉන්න අතරේ අක්කා උයන්න තියෙනවා කියලා කුස්සියට ගියා. ටික වෙලාවක් කතා කර කර ඉද්දි මටත් අයියා එක්ක කරන කතා බහ කම්මැලි වේගෙන ආවා. ඒ නිසා මම ඇහුවා අයියා අපි අක්කාට උයන්න උදව් කරමුද කියලා. එතකොට අයියා කීව දේ තමයි මාතෘකාවෙ දාලා තියෙන්නෙ. .

මේ විදියට හැම පිරිමියාම හිතුවොත් ගෙදර වැඩ කටයුතු සේරම කරන්න ඕන ගෙදර ඉන්න කාන්තාවයි. ඇය රැකියාවට ගිහින් ඇවිත් ගෙදර වැඩ කටයුතු කරලා කෑම උයලා කෑම එක බෙදලා දුන්නම ඒ කෑම එක කන්න විතරක් සූදානම් පිරිමියෙකුගෙන් ඒ ගෙදරට වැඩක් තියේද?

හදිසියේ බිරිඳ ලෙඩ වුනොත් ඇයටඋයන්න නොහැකි වුනොත් එදාට කඩෙන් කෑම ගෙනත් කන්න පුලුවනි. ඒත් නිවසේ අනිත් කටයුතු වලටත් කඩෙන් මිනිස්සු ගෙනෙන්නයැ.

ඒ වගේම දෙන්නම එකතු වෙලා උයන කෑම වේලෙ රසය එහෙම නොකරන අය දන්නෙ නැතිව ඇති. කාන්තාව කියන්නෙ පිරිමියාගෙ සේවකයෙකු විදියට හිතපු බමුණු මත හිස තබා ගත් අය තවමත් අපි අතර ඉන්න බවට මේක උදාහරණයක්. දෙන්නා හවුලේ නිවසේ කටයුතු කරනවිට දෙන්නා අතර ඇතිවන සුහදතාව/බැඳීම ඒ දෙන්නා අතර ඇතිවන ගැටලු අවම වීමටත් හේතු වේවි.

එහෙම නැතිව පිරිමියකු විවාහ වන්නෙ තමන්ගෙ නිවසේ කටයුතු / තමන්ගෙ ඕනෑඑපාකම් සපුරන්න සේවකයෙකු සොයාගෙන ඒ වෙනුවෙන් වැටුප් ගෙවන්න බැරි නිසා ද? මොකද බිරිඳ වැඩ කටයුතු කොතරම් කලත් ඒ වෙනුවෙන් කිසිවක් බලාපොරොත්තු නොවන බව අපි හොඳින් දන්නා කරුණක්.

මේ අතර මම රාජකාරි කරන ස්ථානයේ කෙනෙකු පැවසුවේ අපි පිරිමි විදියට කසාද බඳින්න කලින් කොච්චර දේවල් කරන්න හිතාන හිටියත් ඒ සමහරදේවල් සමහර අවස්ථාවලදි  ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න  නොහැකි බවයි. ඒ වුනත් දෙදෙනා අතර අවබෝධය තියෙනවානම් කලාතුරකින්/අත්‍යාවශ්‍යම අවස්ථාවලදී පමණක් උදව් උපකාර කිරීම ප්‍රමාණවත්බවත්  පවුලේ සමඟියට බැඳීමට හානි වෙන්නේ නැතිබවත් කාන්තාව එයින් හිතරිදවා නොගන්නාබවත් කියලායි ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේ.
එකඅතකට බලනකොට ඒකෙත් ඇත්තක් තියෙනවා වගෙයි නේද?

Friday, July 1, 2011

පවුමට 35000 නම් ඒ මුලු මුදලම මට ඕනේ...


රන් භාණ්ඩ මිලදීගැනීම කියන්නෙ බොහෝදෙනෙක් තමන්ගෙ මුදල් ආයෝජනය කරන ක්‍රමයක්. ඒ හදිසියකදි ඒවා උකස් කරලා මුදල් ගැනීමේ බලාපොරොත්තුවත් රන්භාණ්ඩ රැස්කිරීමේ ආසාව වගේම ඇතිනිසා. ඉතින් තමන්ට මුදල් හදිසියක් වුනාම බොහෝදෙනෙක් ඉක්මනින්ම තමන් සතු රන්භාණ්ඩ උකස් කිරීමට යොමු වනවා. 

මෙතැනදි බොහෝදෙනෙක් කරන වැරැද්දක් තමයි පවුමට වැඩිම මුදල ගෙවන අයෙකු/ස්ථානයක එම රන්භාණ්ඩ උකස් කිරීමට යෑම හා තමන්ට අවශ්‍ය මුදලට වඩා වැඩි මුදලක් (රන් භාණ්ඩ වල උපරිම වටිනාකම ) ලබාගැනීම.

  • පවුමට වැඩිම මුදල ගෙවන කෙනා/ස්ථානයේ පොලීඅනුපාතය බොහෝවිට අන් අයට වඩා වැඩි වීමේ සම්භාවිතාවක් පවතිනවා. ඒ බව සිහිවෙන්නෙ එම රන්භාණ්ඩ සඳහා වාරික ගෙවන විටයි. එවිට විශාල මුදලක් පොලිය ලෙස ගෙවන්න වෙනවා.
  • තමන්ට අවශ්‍ය මුදලට වඩා වැඩි මුදලක් (රන් භාණ්ඩ වල උපරිම වටිනාකම ) ලබාගැනීම තමයි ඉතාම බරපතලම වරද තමන්ට තමන්ම කරගන්නා.

මෙතැනදි අපි හිතමු පවුමට රුපියල් 35000 ගෙවන තැනකට ගිහින් අපි උකස් කරන භාණ්ඩයට රුපියල් 30000 දෙන්න පුලුවන් යැයි කීවා කියා. ඒත් අපිට අවශ්‍ය රුපියල් 20000 වුනත් බොහෝවිට අපි රුපියල් 30000 ම ගන්න යොමුවනවා. එතැනදි අපේ අවශ්‍යතාව පිරිමසාගෙන ඉතිරිවන මුදල වෙනත් අවශ්‍යතාවක් වෙනුවෙන් යොදා ගන්නවා. නමුත් අපි අමතක කරන දෙයක් තමයි අපි ලබාගත් මුලු මුදලම පොලියත් සමඟ නැවත ගෙවිය යුතු බව. එතැනදි අපි අවශ්‍යතාවට පමණක් මුදල් ලබා ගත්තානම් ගෙවීමට සිදුවන මුදල අඩු නිසා එය තමන්ට හිසරදයක් නොවන ආකාරයට ඉක්මනින් ගෙවා නිම කළ හැකියි නේද? උපරිම මුදල ලබා ගැනීම සිදු කළ යුතුවන්නේ තමන්ට අවැසි මුදල ගැන තක්සේරුවක් නොකළහැකි විටත් එම උපරිම මුදල සම්පූර්ණයෙන්ම අවැසි බව තේරුම් ගියහොත් පමණක් බවයි මගේ හැඟීම. එවිට තමන් සතු රන්භාණ්ඩ වෙනත් අයට ඉතා අඩු මුදලට වෙන්දේසි වීමේ සම්භාවිතාවත් අඩු වේවි. 

අපි හම්බකරපු සල්ලි වලින් ගත් රන්භාණ්ඩ වෙනත් අයට අඩු මුදලට හිමිකරදීම තමන්ට දුක හිතෙන දෙයක් නේද?  

මොකද අපි රන්භාණ්ඩ මිලදීගන්නෙ වෙනත් අයට අඩුමුදලට දීලා පින්රැස් කරගන්න නොවෙයි නේ..?

Tuesday, June 28, 2011

මායාවරු කී දිනට ලෝකය විනාශ නොවුනොත් ඊට පසු දින ලෝක විනාශය ඇරඹේවි.

මේ දිනවල ලෝක විනාශය ගැන කතාබහ වටාපිටාවෙන් අහන්න ලැබෙන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. මේ අතරේ සමහරු ලෝක විනාශය මායාවරුන්ගේ දින දර්ශනයට අනුව සිදු නොවන බව ප්‍රකාශ කරනවා. මටත් නිකමට වගේ හිතුනා මායාවරු කී දිනට ලෝක විනාශය සිදු නොවුනොත් මොනවා වේවිදැයි හිතා බලන්න.

බොහෝදෙනෙක් හිතාන ඉන්නෙ 2012-12-21 දින ලෝක විනාශය සිදුවන බව.  ඒ නිසා බොහෝවිට ඒ ආසන්න දින වන විට මිනිසුන් මානසික රෝගීන් මෙන් තමන් අවට පරිසරය විනාශ කරන්නට පෙළඹේවි. ඒ 12-21 න් පසු ඒ පරිසරය පාවිච්චි කරන්න මිනිසුන් ඉතිරි නොවන නිසා. නමුත් එදින ලෝක විනාශය සිදු නොවුනොත් ?

ඊට පසු දින මිනිසුන් ආහාර වෙනුවෙන් සටන් වදීවි. මිනිසා විසින් විනාශ නොකර ඉතිරි වු සම්පත් බෙදාගැනීමට නොහැකිව සටන් වදීවි. ඉතින් සමහරවිට ලෝක යුද්දයක් වුවත් ඇතිවිය හැකියි. මිනිස් වර්ගයා තමන් කරන ලද මෝඩකම් පිළිබඳව දුක් වේවි. ආහාර හිඟය නිසා බොහෝදෙනෙක් මිය යාවි. මියගියවුන්ගේ සිරුරු කොටස් දිරාපත් වන විට ඒවා හේතුවෙන් පරිසරය තව තවත් අපිරිසිදු වේවි. අපිරිසිදු පරිසරය තුළ වසංගත රෝග පැතිරේවි.

ඉතින් 2012-12-21 දින මායාවරුන් පැවසු ලෙස ලෝක විනාශය සිදු නොවුනොත් එදින ලෝක විනාශය හෝ මිනිස් වර්ගයාගේ විනාශය ආරම්භ වේවි.

ඒ වගේම අපි  කොහොමද උපකල්පනය කරන්නෙ මායාවරු 2012 දෙසැම්බර් මසින් තම දින දර්ශනය නිමා කලේ ලෝක විනාශය සිදු වන නිසා ම යි කියලා. මොකද අපිට හිතන්න බැරිද මායාවරුන්ගෙ දින දර්ශනය සෑදීමේ ව්‍යාපෘතියට මුදල්/ප්‍රතිපාදන හිඟයක් නිසා ඒ ව්‍යාපෘතිය 2012 දෙසැම්බර් මස දක්වා දින දර්ශනය සෑදීමෙන් අවසන් කල බව. (ප්‍රතිපාදන හිඟය නිසා වර්තමාන ව්‍යාපෘති කීයක් අතරමග නවතිලා ඇත්ද)

අනික තමන් විසින් දින දර්ශනය සෑදූ පසු ඔවුන්ගෙන් පසු පැවතෙන මිනිසුන්ට දින දර්ශන සෑදීමේ ව්‍යාපෘති සිදු කළ නොහැකි වේ යැයි සිතා ඔවුන්ට අවස්ථාවක් දුන්නාද දන් නෑ දින දර්ශනය එතැන් සිට සැදීමට. .

තව අපි වගේ වැඩ පසුවට කල් දමන අය කොටසක් ඒ දින දර්ශනය සෑදිම පසුවට කල් දැමුවා ද දන්නෙත් නෑ නෙ.

ඉතින් , මායාවරු කී දිනට ලෝකය විනාශ නොවුනොත් ඊට පසු දින ලෝක විනාශය ඇරඹේවි.

Friday, June 24, 2011

ලස්සන : සාපේක්ෂයි....... නෑ...... වෙන්න බෑ........


ලස්සන....

සාපේක්ෂයි


නෑ නෑ .. වෙන්න බෑ
ඇයි ඒ?
තේරුම් කරන්න තේරෙන්නෙ නෑ

හරි එහෙනම් සාපේක්ෂයි කියන්නෙ ඇයි?
සාපේක්ෂ නිසා
ඒ කීවෙ
ඒ කීවෙ දකින දකින කෙනාට අනුව වෙනස් වෙන නිසා


ඔයා දකින්නෙ ඔයාගෙ ඇස් දෙකෙන්
ඒ ඇස් දෙක ඔයාගෙ වෙන්නෙ ඔයා දකින දේ ඔයාට අනුව හිතුවොතින්
ඉතින් ,
බලන්න
ඔයා ඔයාගෙ ඇස් දෙකෙන් දැකලා
මම හිතන විදියට හිතුවොත්
ඔයා දැකලා තියෙන්නෙ ඔයාගෙ ඇස් දෙකෙන් නෙවෙයි
මගේ ඇස් දෙකෙන්

අපි එකිනෙකා දකින්න ඕන
තමන්ගෙම විදියට
හිතන්න ඕන
තමන්ගෙම විදියට

නැත්නම්
මේ
ලෝකය
ඒකාකාරී වේවි
නීරස තැනක් වේවි

ලෝකය
ලස්සන වෙන්නෙ
අපි
ලෝකය දකින්නෙ
එකිනෙකාට වෙන්වු
වෙනස් වූ
ආකාරයකට නම් විතරයි නේද ?

Thursday, June 2, 2011

ඒ මිනිහා බීලා හිටියෙ. නැත්නම් මම ඒ මිනිහාට හොඳට කතා කරනවා

බ්ලොග් කියව කියවා හිටි මටත් බ්ලොගයක් තියෙන බව මතක් වුනේ දැන් නෙව..

මම මේ ලියන්න යන්නෙ මම මේ ළගදි දවසක් බස් එකකදි මුහුනදුන් සිදුවීමක්
සිදුවීම වුනේ දුරගමන් බසයක. අතරමගදි ගොඩවුනු කෙනෙක් මිනිසුන්ට දුක කියලා මුදල් එකතු කරගෙන ඇවිත් බස්එකේ ආසනයක වාඩි වුනා. ඒ ආසනේ හිටියෙ මගේ මිතුරෙකුගේ අම්මා. මම හිටියෙ ඊට පිටුපස සීට් එකේ.

ටික වෙලාවක් යද්දි වාඩිවුනු මනුස්සයාට නින්ද ගිහින් වගේ පෙනුනා. ටික දුරක් යද්දි මිත්‍රයාගෙ අම්මාගෙ පැත්තට පාත් වෙන්න පටන් ගත්තා. මිත්‍රයාගෙ අම්මා ඒ මනුස්සයාව ඇහැරවුවා. එතකොට ඒ මනුස්සයා කීවා මම හාමතේ ඉන්නෙ නෝනා කියලා. ආය ටික දුරක් යද්දි ඒ මනුස්සයා ආයෙ නිදාගන්න පටන් ගත්තා. මේ අතර මගේ ළග හිටපු කෙනෙක් මිත්‍රයාගෙ අම්මට කතා කරලා "මම පොලිසියෙ වැඩ කරන්නෙ, මේ මගේ අයිඩින්ටිය. ඒ නිසා බය නැතිව බනින්න" කීවා.

තවත් දෙපාරක් විතර නිදාගත්ත මනුස්සයා මිත්‍රයාගෙ අම්මා පැත්තට පාත්වෙන්න වුනා.  මේ අතරෙදි මිත්‍රයාගෙ අම්මා තව තවත් ඈත් වෙන්න උත්සාහ කරා.  ඒත් ඒ මනුස්සයා නැගිටලා සමාවෙන්න කියලා ආයෙත් කලින් වගේම නිදි කිරන්න පටන් ගත්තා. මේ අතරෙදි මට හිතුනා මේ මිනිහා ආබාධිතයෙක් වුනාට එන පොට හොඳ නෑ කියලා. ඒ නිසා මම පොඩි තට්ටුවක් දාලා ඇහුවා ඇයි අයියා නින්ද යනවාද කියලා. එතකොට මේ මනුස්සයා හීනෙන් නැගිට්ටා වගෙ දොර ගාවට ගියා. අපි කොන්දොස්තරට සිද්දිය කීවාම ඒ මනුස්සයාට බැනලා බස් එකෙන් බැස්සුවා.
ඊට පස්සෙ මගේ ළග හිටපු "පොලිස්" කීව මනුස්සයා කියනවා "ඒ මිනිහා බීලා හිටියෙ. ඒකයි මම මොකුත් කීවෙ නැත්තෙ. නැත්නම් මම ඒ මිනිහාට හොඳට කතා කරනවා" කියලා.

අනේ ඉතින් මට හිතුනා මෙහෙමත් පිරිමි තාමත් ඉන්නවානෙ අශ්වයා පැනලා ගියාම ඉස්තාලෙ වහන්න දඟලන " කියලා.

මම හිතන විදියට සමහර අවස්තා වලදි පිරිමි මේ වගේ දේවල් දැක්කම නොදැක්ක ගානට ඉන්නෙ ඒවා බලලා වින්දනයක් ගන්න වෙන්නත් පුලුවනි. ඒ වගේම සමහරවිට මේ දේට විරුද්ද වුනාම ඇතිවන අතුරු ප්‍රතිපල වලින් බේරෙන්න  වෙන්නත් පුලුවනි. මොකද ඒ දෙයක් වලක්වන්න ගිහින් සමහර අවස්තා වලදි ඒ කාන්තාවත් අනික් පැත්තට කතා කරන්න පුලුවනි.

Related Posts with Thumbnails