Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Thursday, April 15, 2010

මහගෙදර දෙන්න ඕන පිරිමි ළමයි ඉන්න කෙනෙකුටමද?

මේක කලින් "සමාජයට උවමනා නිසා කරදුන් කසාදය" ලිපියේ අයියාටම සම්බන්ධයි.

මේ අයියගේ දරුවා පිරිමි ළමයෙක්. ඒ කියන්නෙ පුතෙක්. ඉතින් මේ අයියාගෙ අයියලාට අක්කලාට හරිම සතුටුයි ඒ ගැන. ඒ මොකද දන්නවද? පරම්පරාව ගෙනියන්න කොල්ලෙක් ඉන්නවලු. මේ දරුව ඉපදෙන්න කලින් ඒ අයියගෙ ම අයියා කෙනෙක් "පරම්පරාවෙ ගෙදර කොල්ලෙකුට දෙන්න ඕන. පරම්පරාවෙ ගෙදර පිට යන්න දෙන්න හොඳ නෑ" කිය කියා ඒ අයියා හිටපු ගෙදර තමන්ගෙ පුතාට ලියවගන්න උත්සාහ කරා. තව දෙයක් කියන්න බැරිවුනා. මම මේ කතා කරන (කතාවේ කතානායක) අයියගෙ අයියා කෙනෙක්ට තමයි මහගෙදර මුලින්ම ලියලාදෙන්න හිටියෙ. නමුත් ඒ අයියාට හිටියෙ ගෑණුදරුවන්ම 3 දෙනෙක් නිසා පවුලෙ කට්ටිය එයාට ගෙදරින් අයින් වෙලා වෙනම ගෙදරක් හදාගන්න සිද්ද වෙන විදියට වැඩ කරා. ඊට පස්සෙ තමයි අපේ කතානායක අයියාව ඒ ගෙදර පදිංචි කරේ. ඊයේ පෙරේදා දවසක තමයි මට මේ දේ පැහැදිලි වුනේ.

ඉතින් අලුත්ම කතාවට එනවානම් දැන් මේ පවුලෙ අය සතුටින් ඉන්න බව කිව්වානෙ. ඒ පිරිමි දරුවා නිසා කියලාත් කිව්වනේ. මට ඉතින් ප්‍රශ්ණ ගොඩක් මතු වෙනවා
  • හැම ගෙදරම පිරිමි ළමයි විතරක් ද හදන්න ඕනි.? එහෙම වුනොත් ලංකාවෙ ඉන්න කොල්ලන්ට කසාදබඳින්න කෙල්ලො ගේන්නෙ දකුණු ඉන්දියාවෙන්ද?
  • ගෙවල් අයිති වෙන්න ඕන පිරිමි අයට විතරද?
  • ගෑණු ළමයි කසාද බැන්දම තමන්ගෙ මහගෙදර ඉන්න බැරිද? (බින්න විවාහය කියලා එකක් O/L සමාජ අධ්‍යයනය/ඉතිහාසය ට ඉගෙන ගත්ත වගේ මතකයි)

පවුලෙ එකම දරුවා පිරිමි දරුවෙක් වෙන එකයි, පවුලෙ වැඩිමල් දරුවා පිරිමි දරුවෙක් වෙලා අනික් අය ගැහැණු දරුවන් වෙන එකයි දෙකම ඒ දරුවට හොඳ නෑ කියලා තමයි මම හිතන්නෙ..
  • පවුලෙ එකම දරුවා පිරිමි දරුවෙක් වුනාම ඒ දරුවගෙ අම්මයි තාත්තයි ඒ දරුවව ගොඩක් ආරක්ෂා කරනවා. ඒ නිසා ම නිදහස ගොඩක් සීමා කරනවා.. ඉතින් ඒ ගෙදරින් බොහෝවිට බිහිවෙන්නෙ ගෑණුළමයෙක්ට වඩා ආරක්ෂා කරපු තනියම කිසිම දෙයක් කරන්න බැරි තරුණයෙක්. ඒ අතරම සමහර අවස්ථා වලදි තමන්ට ලැබෙන නිදහස උපරිමයෙන් පාවිච්චි කරන්න යොමු වෙනවා. එතනදි සමහරවිට ජීවිතය අනතුරේ දාගන්න/විනාශ කරගන්න වුනත් බැරි නෑ.
  • පවුලෙ වැඩිමල් දරුවා පිරිමි දරුවෙක් වෙලා අනික් අය ගැහැණු දරුවන් වෙන එක කියන්නෙ පිරිමි දරුවා තමන්ගෙ ගෙදරම ආගන්තුකයෙක් වෙන එකයි. එනම් පවුලේ වැඩිමල් දරුවා ගෙදරින් ඈත් වෙනවා/පවුල කෙරෙහි බැඳීම නැති වෙනවා කියන එකයි. ඒක වෙන්නෙ කොහොමද කියනවා නම් අනික් සියලුම දරුවන් ගැහැණු දරුවන් වුනාම (මම මෙතනදි කතා කරන්නෙ අයියයි නංගියි කියන දේ මිසක් අක්කයි මල්ලි යි හරි අයියයි මල්ලියි කියන දේ නෙවෙයි) තාත්තායි අම්මයි දෙන්නාම ඒ ගෑණු දරුවා ගැන යොදන අවධානයෙන් 1% වත් පිරිමි දරුවා ගැන යොදන්නෙ නෑ. අවධානය යොදනවා කියන්නෙ මුදල් වියදම් කිරීම, අවශ්‍යතා ඉටුකිරීම පමණක්ම නොවෙයි. පිරිමි දරුවට තමන්ගෙ දෙමාපියන් සමඟ එකට සිටීමේ හැකියාව , ප්‍රශ්ණ විවෘතව කතා කිරීමේ හැකියාව නැති වෙනවා. දෙමව්පියන් තමන්ට ආදරය කරන බව දැනෙන් නෙ නැතිව යනවා. මොකද අයියයි දෙමාපියනුයි අතර නංගි ඉන්න නිසා. තවතු දෙයක්, නෑදෑයින් වුනත් ගෙදරට ආපුවම වැඩි කාලයක් ගතකරන්නෙ ගෑනුදරුවන් එක්කයි. දෙමාපියන් වුනත් හිතන්නෙ /කියන්නෙ "කොල්ලෙක් නෙ. දැන් ඉලන්දාරියෙක් නෙ" කියලායි.ඉතින් කොලුවා තමන්ටම සීමා වුනු (සංවෘත) ලෝකයක ජීවත් වෙන්න පටන් ගන්නවා.

මේකෙන් සිද්ද වෙන හොඳකුත් තියෙනවා. එනම් දරුවා තනිවම තමන්ගෙ කටයුතු කරගන්න පටන් ගන්නවා. නමුත් තමන්ගෙ දරුවා නිවස කෙරෙහි බැඳීම අඩුවීම පසුකාලයක දෙමව්පියන්ගෙම දෝෂදර්ශණයට ලක් වෙනවා. මේ බව කවුරුවත් කවදාවත් (දෙමව්පියන්) තේරුම් ගන්නෙ නැතිබව විශ්වාසයි.

ඉතින් මම කියාගෙන ආපු මහගෙදර පැවරීම කියන දේ ගත්තොත් "මහගෙදර පිරිමි ළමයෙකුටම දෙන්න ඕන" කියන දේ වෙනස් විය යුතු බව මම විශ්වාස කරනවා. මොකද පිරිමි දරුවන්ට (පවුලට බැඳීම අඩු) ගෙවල් ලියලා දීලා පරම්පරාව ගෙනියනවාද නැත්නම් දෙමව්පියන්ට ආදරෙන් සලකන කෙනෙකුට ගෙදර දීලා දෙමව්පියන් තමන්ගෙ අන්තිම කාලය සතුටින් ගත කරනවාද කියලා හිතන්න ඕන දෙව්පියන් මයි. ඒ ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියන දේ වැදගත් නෑ.


මේ දක්වපු සිදුවීම් වලට සමාජයේ ඕන තරම් උදාහරණ තියෙන අතරම මෙයින් අපගමනය වන අවස්ථා ද ඕනතරම් තියෙන බව මම දැකලා තියෙනවා.

2010-04-15
rh

9 comments:

  1. මේ ලිපියත් කලින් එක වගේම හරිම වටිනා ලිපියක්.

    ඇත්තෙන්ම බ්ලොග් මඟින් මෙන්න මේ වගේ කාර්‍යභාරයකුත් කෙරෙන්න ඕන - සමාජ ප්‍රශ්න කතාබහ කිරීම ඒවා සාකච්චා කිරීම . . එක එක්කෙනාගේ අත්දැකීම් දැනීම් මේ වගේ බෙදා ගත්තාම ගොඩක් අය දැනුවත් කරනන් පුලුවන් . . ඒ කියන්නේ තමන් හිටා ගෙන ඉන්න තමන් හරි කියලා හිතාගෙන ඉන්න කොටුවෙන් එලියට පනින්න පුලුවන් . .. .

    නියමයි මල්ලී. . .

    ReplyDelete
  2. ලිපිය ගැන කියනවනම්. . මගේ හැඟීම නම් දෙමාපියන් කිසිම වෙලාවක කිසිම දරුවෙකුට වෙනස් විදිහකට සලකන්න නරකයි. ඒකෙන් වෙන්නේ දරුවො ශරුවෝ අතරේ ත් එකිනෙකා නොරුස්සන ගතියක් ඇතිවෙලා ඉඩකඩම් වලට බඩු වලට මරා ගන්න පිරිසක් බිහිවෙන එක.

    මතක නම් මගේ නංගී ගැන ලියපු පෝස්ට් එකේ මම ලිව්වා අම්මා යි තාත්තායි නංගීට වැඩිපුර ආදරයක් (අනේ බඩපිස්සී නේ කියලා) කරපු එකෙන් වුනේ අකක්යි මායි නංගී එක්ක තරහක් ඇති කර ගත්තු එකයි.

    ඒත් වාසනාවට පස්සේ කාලෙක අපිට දෙමාපියන්ගේ බලපෑමෙන් මිදිලා අපි තුන් දෙනාට තුන්දෙනා ආදරේ කරන්න සිදු වුනා . . එකෙන් වුනේ අපි එකිනෙකාට මාර විදිහට බැදෙන්න වුනු එක. (මම හිතන්නේ අපි තුන්දෙනා තමයි මේ ලෝකෙන්ම එකිනෙකාට වැඩියෙන්ම ආදරේ කරන සහෝදර සහෝදරියෝ ටික කියලා)

    දෙමාපියෝ හැම දරුවෙකුටම එක සමානව සලකනවානම් පස්සේ කාලෙක දරුවෝ තීරයන කරයි කොහොමද දේපල බෙදාගන්න ඕන කියලා. අනන් ඒකයි වෙනන් ඕන. (අපේ මහ ගෙදරත් මට දෙන්න ම ඕන කියලා තාත්තා කියලාම හිටියා . . මම රන්ඩු කලා ඒක අක්කට දෙන්න එයාට දරුවෝ ගොඩක් ඉන්නවනේ කියලා . . නංගීත් මගේ මතේමයි හිටියේ . පස්සේ අක්කා ම කිව්ව ඕන නෑ ඒක මටම අරගෙන කුලියට දීලා ඒකෙ සල්ලි තාත්තලට වියදමට ගන්න දෙන්න කියලා )

    ReplyDelete
  3. ගොඩක් වෙලාවට පවුල් වල ප්‍රශ්න වලට එම පවුලේ දෙමාපියන්ගේ ක්‍රියාවන් ලොකු හේතුවක් වෙනවා. ඒ දේවල් වලින් තමයි ප්‍රශ්න වල මුල් බීජය හට ගන්නේ. හැබැයි ඒක ගැන සමාජයේ කතා කරන්නේ නෑ.

    ReplyDelete
  4. @දුකා..
    දුකා අයියේ.. අපි බ්ලොග් එක හරහා සමාජය වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් කරමු. ඒක සැබෑ ජීවිතේදි කරන්න තරමක් අමාරු වුනත් පොඩ්ඩක් උත්සාහ කරමු..

    පොඩි හිත්වල මොනවා ඇතිවුනත් වයසින් වැඩෙනකොට ඒ හිත් ඇත්ත මොකක්ද කියලා තේරුම් ගන්නවානම්/අඩුපාඩු නිවැරදි කර ගන්නවානම් ඒක සතුටට කාරණයක්.. ලේ බැඳීම අනෙක් හැම බැඳීමටම වඩා බලවත් කියනවා නේ..(නොවෙන වෙලාවලුත් තියෙනවා)

    @DReeZone said...
    ඔව්. ඒක විවෘතව කතා නොකරන එක අඩුපාඩුවක් තමයි.
    පුංචි හිත් වල ඇතිවන වැරදි සිතුවිලි අයින් කරන්න හරිම අමාරුයි. (ඒත් උත්සාහ කලොත් පුලුවන් වේවි)
    දෙවෙනි දරුවා ලැබුණම බොහෝ දෙනා ඒ දරුවා වටේ එකතු වෙනකොට පළමු දරුවාට දැනෙනවා තමන්ගෙ ලෝකය වෙනත් කෙනෙක් හොරකම් කළා කියලා..එතනදි දරුවාට ඇතිවන ඊර්ෂ්‍යාව සාධාරණයි. මොකද ඒ දරුවා ලෝකය දකින්නෙ ගෙදරින් නිසා..ඉන් පස්සෙ ඒ දරුවා තමන්ටම සංවෘත වුනු ලෝකයක් ගොඩ නඟා ගන්න එකත් එහි පවුලේ කිසිම කෙනෙකුට ඉඩක් නොමැති වීමත් වළක්වන්න නම් දෙමාපියන් මුල ඉඳලාම එහෙම නොවෙන්න වගබලා ගන්න ඕන.

    @දුකා..@DReeZone ස්තුතියි ප්‍රතිචාර වලට..
    ඔබට සුබ දවසක්..

    ReplyDelete
  5. පවුලේ බාලයා පිරිමි ළමෙක් නම් පවුලේ අනිත් දරුවන්ටත් හරි අවුලක් වෙනවා නේද? ගේ අයිති බාලයට කියලා පිලිවෙතක් රකින නිසා.... ඕවා සේරම වාසි බලන් හදා ගත්තු දේවල් කියලයි සමනලීට හිතෙන්නේ.... මිනිස්සු විවාහයකදීත් මුලින් බලන්නේ ගේ දොර ඉඩකඩම් නේ..... කෙනා හොදද නරකද බලන්නේ ඊට පස්සේ... ඉතින් පවුලේ සහෝදර සහෝදරියන් අතර ගෙවල් අයිති කරගන්න ගැටුම්.....

    ReplyDelete
  6. @punchisamanalee said...

    ඉතින් සමනලී.. ගැහැණු දරුවන් වැඩිදෙනෙක් ඉන්න පවුලක පිරිමි දරුවො එක්කෙනෙක් හිටියත් ගෙදර අයිති ඒ පිරිමි ළමයට ලු නෙ..ඒ පිරිමි දරුවා බාලයාද වැඩිමලා ද කියන දේ ගනන් ගන්නෙ නෑ නෙ..
    ගෙවල් අයිති කරගත්තට පස්සෙ දෙමව්පියන්ට සිදුවිය යුතු යුතුකම් සිදු වෙනවාද කියන එක ප්‍රශ්ණයක්..
    ගෙයක් අයිති කරගන්නවා කියන්නෙ තමන් හොයන මුදලින් විශාල කොටසක් වියදම් නොවී ඉතුරු වෙනවා කියන එකයි.(ණය වීම් හා ගෙදරක් හදන්න යන සියලු වියදම් ඉතිරි වෙනවා නෙ) ඒකයි පවුලේ සහෝදර සහෝදරියන් අතර ගෙවල් අයිති කරගන්න ගැටුම්..... ඇතිවෙන්නෙ..

    නමුත් අවුරුදු 30-40 විතර කලින් හදපු ගෙදරක් මුල ඉඳන්ම ප්‍රතිසංස්කරණය කරන් නැතුව පාවිච්චි කරන්න අමාරුයි.ඒ වගේම දෙමව්පියන්ට සැලකීමත් කරන්න වෙන්නෙ ගෙදර අයිති කෙනාටයි..

    ගෙදර වෙන කෙනෙක්ට දීලා දෙමව්පියො තමන්ගෙන් යැපෙනවා කියලා අනිත් දරුවො හිතන එක නවත්තන්න කාටවත් බෑ.ඉතින් දෙමව්පියො සතුටින් ඉන්න ඕන කාලෙ දුකින් ගත කරනවා.. දරුවොත් ඇනකොටා ගන්නවා...

    ස්තුතියි ප්‍රතිචාරයට....
    ඔබට සුබ දවසක්..

    ReplyDelete
  7. මූලික තර්කයට මම එකඟයි. ඒත් පවුලෙ එකම දරුවා පිරිමියෙක් වීම නිසා ඔහුගෙ පෞරුෂය අඩුවීමක් හෝ වැඩිමහල් පිරිමි දරුවා වීම සහ නංගිලා සිටීම නිසා දෙමව්පියන්ගේ සැලකිල්ල අඩුවෙනවා කියන දේවල්වලට මම එකඟ නෑ. ඒව වෙනස්වෙන්නෙ ඒ ඒ පවුල් මතයි.

    ReplyDelete
  8. @nadeesthoughts said...
    ඒ නිසා තමයි මම
    මේ දක්වපු සිදුවීම් වලට සමාජයේ ඕන තරම් උදාහරණ තියෙන අතරම මෙයින් අපගමනය වන අවස්ථා ද ඕනතරම් තියෙන බව මම දැකලා තියෙනවා.
    කියලා දැක්වුවෙ ලිපිය අවසානයේ..
    සැලකිල්ල අඩුවීම කියලා අදහස් කළේ "ආදරය/සෙනෙහස" වගේ දේවල් දැනීම අඩුයි කියන එකයි. ඔබ පොඩ්ඩක් හොයලා බැලුවොත් "තමන්ගෙ නිවසේම ආගන්තුකයෙක් විදියට ජීවත් වන තරුණයන්" ඕන තරම් දැකගත හැකි වේවි..
    ආහාරපාන මුදල් වගේ භෞතික දේවල් ගත්තම ඒවා වැඩිපුරම ලැබෙන්නෙ පිරිමි දරුවාටයි.. නමුත් ආධ්‍යාත්මික/මානසික පැත්ත අඩුවෙන්ම ලැබෙන්නෙ පිරිමි දරුවාටයි..

    ස්තුතියි ප්‍රතිචාරයට....
    ඔබට සුබ දවසක්..

    ReplyDelete
  9. පරණ ලිපියක් වුනත් ලියන්න ඕන කියල හිතුනා.. මම පවුලේ එකම දරුවා... ඔබ කියන දේ ඒ ආකරයෙන්ම මම මේ මොහොතේත් අත් විඳිමින් සිටිමි..
    (මේක කෙනෙක් කියවන්න කියල මට දීපු link එකක්. පස්සෙ වෙලාවක ඇවිත් අනිත්වා කියවන්නම්.)

    ReplyDelete

හිත කියන්නෙ පුදුම දෙයක්. ඒක තියෙන්නෙ කොතැනද කියලා කවුද දන්නෙ?
හිත නිතරම වෙනස් වෙනවා. හිතට නිතරම සිතුවිලි එනවා.
හිතට වරක් ආපු සිතුවිල්ලක් නැවත ඇති වෙන්නෙ කලාතුරකින්.

ඔබ කැමති නම් හිතට එන සිතුවිලි/අදහස් අකුරු කරන්න.


ඇනෝලා සමා වෙත්වා. මගේ බ්ලොග් එකට ස්පෑම්බොට් එකකින් ස්පෑම් කමෙන්ට් එනනිසා ඇනෝලාගේ කමෙන්ට් කිරීමේ අයිතිය නැති කරන්න සිදු වුනා.

Related Posts with Thumbnails