Pages

සීමාවන් නොමැති අදහස් වලට පණ දෙන්න.....

Tuesday, July 3, 2012

ඒවුනත්.. ඉස්සර තිබුනු නිදහස් ජීවිතේ?

රස්සාවට ගිහින් අවුරුදු දෙකකුත් වුනා.
අවුරුදු දෙක ඉවරවෙනකොටම ලැබුනු ස්ථානමාරුව ජීවිතේ මේ තරම් වෙනස්කරාවි කියලා හීනෙකින්වත් නොහිතුනු හැටි...

හැමදාම හවසට ගෑනුළමයාත් එක්ක මල් කඩපු එකත් අඩුවෙලා..
හවසට නවාතැනට යන්නෙ හරිම මහන්සියකින්..
ගිය ගමන් කන්න තියෙන දෙයක් කාලා ගන්නවා කෝල්එකක් ගෑනුළමයාට.. විනාඩි පහක් විතර කතා කරලා මහන්සියි කියලා නිදා ගන්නවා..
උදේ නැගිටලා රස්සාවට යනවා.. රෑෙවලා නවාතැනට යනවා..
තව මාස කීපයකින් හොඳ පඩියකුත් ලැබෙන්න පටන්ගනීවි..


ඉස්සර හවස හතරහමාර පහ විතර වෙද්දි ගෙදර ආව මම දැන් ගෙදර එන්නෙ සතියකට වතාවක්.
සතියෙ දවස් පහක් නිවසින් පිට නවාතැනක..
දැන් නවාතැනට යද්දි හවස හත පහුවෙනවා. ඒ වුනාට ඒ නවාතැන්පල තියෙන්නේ රැකියාව කරනතැන ඉඳලා මීටර 500ක්වත් නැති දුරකින්..
කෙනෙක් හිතාවි අපි වැඩිපුර වැඩ කලාම අතිකාල ගෙවනවා නේද කියලාත්..
ඒක ඇත්ත. අපිට අතිකාල ගෙවනවා. මාසෙ පඩිපතට සමාන මුදලක් වුනත් අතිකාල වලින් හොයන්න පුලුවනි..

ඒවුනත්.. ඉස්සර තිබුනු නිදහස් ජීවිතේ?
අපි සල්ලි හොයන්නෙ ජීවත් වෙන්න නේද? ඒ වුනත් සල්ලි කොච්චර හෙව්වත් වැඩක් වේවිද මේ වගේ නිදහසක් නැති ජීවිතයක් ගතකරලා.. ගොඩක් උත්සාහ කරලා හැමදේම සතුටින් විඳගන්න කරපු උත්සාහයන් තව තවත් නිදහස නැතිවෙන තැනට පත් කරලා.



Saturday, January 14, 2012

ජීවිතයට සතුට ළඟා කරද්දි එය වදයක් වගේ හිතෙනවානම්..

ජීවිතයක් අදුරින් එළියට ගන්න උදව් කරන එකත්
ජීවිතයට මාර්ගය විවෘත කරලා දෙන එකත්
හොඳ පින්කමක්...

ඒ පින්කම හැමෝටම කරන්නත් බෑ.. ඒ වුනත් උවමනාව තියෙනවානම් ඕනැම කෙනෙකුට කරන්න බැරිකමකුත් නෑ..

ජීවිතයට සතුට ළඟා කරද්දි එය වදයක් වගේ හිතෙනවානම්..
එතැන තියෙන්නෙ නොලැබීම මිසක් වෙන මොකක්ද?

අයාලේගිය , හීන ලෝකයේ සැරිසරමින් තිබුනු ජීවිතය
නිසිමඟට යොමු කරවනඑකත් කරන්න පුලුවන් වෙන්නෙ එහෙමත් කෙනෙකුටයි..

ඒ වෙනුවෙන් ඉවසීම කොතරම් උවමනා වේවිද?
ඒ වගේම අවබෝධය..?

අනෙකාට ගරුකරන්නත් ඇහුම්කන්දෙන්නත් ඒ වගේම තමන්ගෙ වැරදි අඩුපාඩු නිහතමානිව අවබෝධ කරගෙන ඒවා නිවැරදි කරගන්න පුලුවන් වෙන්නෙත් එහෙමත් කෙනෙකුටයි
ඒ අය කොතරම් සාර්ථකත්වයක් අත් කරගන්නවාද කාලයත් සමඟම

කතාවක් තියෙනවානෙ පවට පින් දෙන්න බෑ කියලත්..

Wednesday, January 4, 2012

හීන දකිමින් සිටි ලෝකය ආගිය අතක් නැතිව ඇතිසෙයකි..

හීනෙන් දකින්නෙ
අපේ හිතේ තියෙන ලෝකය
සැබෑ වුනා වගෙයි
නමුත් හැබෑ ලෝකයේදි ඒ හීනය
සැබෑවක්ම වෙමින් පැවතී
බිඳවැටුනු විට
ලෝකයම විනාශවුනේයැයි හැඟී
හැම දෙයක්ම එපාවී ගියත්
ඒ බිඳවැටුනු ලෝකයෙන් එපිට
තවත් ලෝකයක් තිබෙන බව පෙනෙන විට
හීන දකිමින් සිටි ලෝකය
ආගිය අතක් නැතිව ඇතිසෙයකි..

Saturday, December 10, 2011

හිත ගිය තැන මාළිඟාව....

සාර්ථකවීම් අසාර්ථකවීම් රාශියක් අතරින් මේ දවස්වල ජීවිතේ ගලාන ගියාට හිතේ සතුටක්ද අසතුටක් ද තියෙන්නෙ කියලා හිතාගන්නවත් බැරි තත්වයක මම හිරවෙලා...
ඒ අතරෙ මානව සම්බන්ධතා පැවැත්වීම අපේ රැකියාව නිසා අපි හමුවට එන අය තරහා නොවන ආකාරයට ඒ අයත් එක්ක ගනුදෙනු කරන්නත් වෙනවා
සමහර ගනුදෙනුකරුවන් කරන කියන දේවල්වලදි කොච්චර තරහා ගියත් ඒ බව නොපෙන්වා හිනාවෙලා මිත්‍රශීලීව කතා කරන එක දැන් නම් ගොඩක් දුරට ඇඟටම බද්ධ වෙලා වගේ. ඒ වුනත් සමහර අවස්ථා තියෙනවා අපි උවමනාවට වඩා පාගන්න එන අවස්ථා. ඒ වගේ වෙලාවන්වලදි ඇඟට නොදැනී ඒවා නවත්තන්නත් අමාරුම වුනොත් කෙලින්ම මොනවා හරි කියලාදාන්නත් සිද්ධ වෙනවා. ඒ වගේ මොහොතවලදි කපටිකම කියන දේ ගොඩක් උපකාරි වෙනවා මට නම්. මොකද හිනා වෙන ගමන්ම අදාල තැනට හරියටම වදින විදියට කතාකරන්න කපටිකම ඉතාමත් වැදගත් මට නම්.
ඒ අතරෙ උදේ ඉඳන් ආතතිය මැද ගෙවන ජීවිතයට වෙනසක් එක් කරන්නත් සමහරු උත්සාහ කරනවා එක එක විදියෙ උදව් අපිට කරන්න ඇවිත්.  ඒ උදව් එපා කියන්න කොච්චර උත්සාහ කරත් ඊළඟ වතාවෙත් ඇවිත් ඒ ගැනමයි කතාව. මට ගැලපෙන ගැහැනුළමයෙක් හොයන වැඩේ මටත් හොරෙන්ම වෙනත් අයට පවරලා මගෙත් එක්කම ඉන්න කෙනෙක්. මට කිසි දෙයක් කරන්න එපාලු. ඒ අය උත්සාහ කරලා මට ගැලපෙන කෙනා හොයන්නම්ලු. එතකොට මට තියෙන්නෙ ඒ  අය හොයලා දෙන කෙනාට කැමති වෙන්න විතර(ද)? මම බලාපොරොත්තු වෙන්නෙ කොහොම කෙනෙක්ද කියලා ඒ අය දන්නවා ද? මේ වැඩ වලින් අන්තිමට වෙන්නෙ මාව චාටර් වෙනඑක කියලානම් මට ෂුවර්. ඒත් ඉතින් මේ මිනිස්සුන්ට එපා කීවාට අහන එකක්යැ. කොහේහරි ඉන්න අවුරුදු 26ක් 27ක් වෙන කෙනෙකුගෙ විස්තර හොයලා මට කියනවා. දැන් ඒක හැමෝගෙම විනෝදාංශය වෙලා වගේ. එක්කො ඒ කියන කෙනාව මට මුනගැස්සුවානම් අඩුගානෙ මුනුපොතේ මිතුරුකැලට එකතුකරගන්නවත් තිබුනා.

අද හවස මම යාලුවෙකුගෙ ගෙදර ගිය වෙලාවෙ දි මේ ගැන කතා කරද්දි යාලුවාගෙ අම්මා නම් කීවෙ " ජීවිතේ සමහර අවස්ථා තියෙනවා අපිට ඒ අවස්ථා ලැබෙන්නෙ සීමිත කාලයයි. ඒ කාලය තුලදි අපි ඒ අවස්ථාවලින් ප්‍රයෝජන නොගත්තොත් පසුකාලයකදි ඒ අවස්තාව ලබා ගන්න අමාරු වෙනවා. සමහරවිට නොලැබී යන්නත් පුලුවන්. " කියලායි. ඒ කියන්නෙ මේ අවස්ථාව මම පාවිච්චි කරන්න ඕන කියන එකද?
ඒ වුනාට හිත ගිය තැන මාළිඟාව කියනවානෙ. බලමු ඉස්සරහට අලුත් මාලිඟාවක් හදන්න අත්තිවාරමක් දාන්න වේවිද පරන අත්තිවාරමෙන්ම මාළිඟාව ගොඩනගන්න පුලුවන් වේවිද කියලා..

Monday, October 31, 2011

ඒ අතරෙ මතක් වෙනවා විභාගෙ ළඟයි නේද කියලා

ලබන සතිඅන්තෙ විභාගෙලු..

ප්‍රොජෙක්ට් එක.. තවම බාගෙට කරලා තියෙන්නෙ..
විභාගෙන් පස්සෙ ඒකත් සබ්මිට් කරන්න ඕනලු..

උදේ නැගිටින්නෙ.. අදනම් පුලුවන් ඉක්මනට ගෙදර ඇවිත් පාඩම්කරනවා කියලා හිතාන..
බ්‍රාන්ච්එකෙන් එලියට එන්නෙත් ඉක්මනට ගෙදරගිහින් පාඩම්කරන්න හිතාගෙන..

ඒත් ගෙදර ආපුගමන් ලැප්එක ඔන් කරගෙන හෝම්පේජ්ටික ලෝඩ් කරගන්නවා..
ටික කියලා කිවෙ.. මුනුපොතයි, ගුගල්රීඩරෙයි
ඊට පස්සෙ ඉතින් ඕපාදුප ටික කියවකියව ඉන්නවා

ඒ අතරෙ මතක් වෙනවා විභාගෙ ළඟයි නේද කියලා
ඉතින් ඒ වෙලාවට හිතනවා හෙට උදේම නැගිටලා පාඩම් කරන්නම් කියලා
රෑ වෙනකන් ඇහැරිලා ඉඳලා නිදාගෙන උදේ නැගිටලා හිතනවා හවස පාඩම් කරන්නම් කියලා

බලානයද්දි මම කරන්නෙ පාඩම් කරන්න වෙලාව වෙන්කරන එක විතරයි වගෙයි.


Sunday, October 23, 2011

මම ඔයාට කාඩ් එකෙන් කැපෙන ගාන මාසෙන් මාසෙට දෙන්නම්

මේ ලියන්න යන්නෙ ක්‍රෙඩිට්කාඩ්එකක් ගන්න ඕන කියලා කියපු නිසා මට වුනු සිද්දියක්.
පහුගිය දවසක අපේ අක්කා කෙනෙක් මුනගැහුනු වෙලාවක මම එයාට කීවා මටත් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඕන කියලා. මේ ළඟදි දවසක ඒ අක්ක කතා කරලා කියනවා මල්ලි මට උදව්වක් ඕන. පොලී නැතිව මාස 36න් ගෙවන්න බඩු ගන්න පුලුවනි. ඔයාට පුලුවන් නේද මට ඔයාගෙ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න බඩු අරන් දෙන්න අපේ ගෙදරට. මම ඔයාට කාඩ් එකෙන් කැපෙන ගාන මාසෙන් මාසෙට දෙන්නම් කියලා.

මම කාඩ්එකක් ගන්න ඕන කියලා කියුවත් තවම කාඩ්එකක් ලැබුන බවක් කියලාවත් කාඩ්එක මගේ අතට ලැබිලාවත් නැතිකොට අක්කා හිතන්නෙ මට කාඩ්එකක් තියෙනවා කියලායි. ඒ වෙලාවෙ මම කීවා අක්කා මට තවම කාඩ් එක ලැබුනෙ නෑ ඒ වගේම කාඩ් එක ලැබුනත් ඔයා ඉල්ලන උදව්වනම් කරන්න බෑ මට. මොකද මගේ පඩිය බොහොම සුලු ගානක්. ඒක මම ගන්න ඕන කිවෙ අපි අනික් අයට කාඩ් අරන් දුන්නට අපි ත් ඒවා අරන් තියාගත්තම අපිට ලේසි නිසා කියලා. එතකොට අක්කා කියනවා තියාගන්නවා තමුසෙගෙ කාඩ්එක. මට ඕන නෑ. අනික් අයට පෙන්නන්නනෙ කාඩ්එක අරන් තියෙන්නෙ. ඒ විදියටම තියාගන්නවා කියලා.

මට හිතුනා මම ලොකු බරකින්  නිදහස් වුනා කියලා. මොකද ක්‍රෙඩිට්කාඩ්එකක් කියන්නෙ බොහොම පරිස්සමින් පාවිච්චි කරන්න ඕන දෙයක් කියලා තමයි මම නම් විශ්වාස කරන්නෙ. අපි ක්‍රෙඩිට්කාඩ් එකකින් කරන්නෙ තමන් අතේ නැති මුදලක් වියදම් කරන එකයි. එතැනදි අපි පරිස්සම් නොවුනොත් වෙන්නෙ අපේ මාස ගනනක වැටුප ඒ වෙනුවෙන් වැය කරන්න වෙන එකයි. එතැනදි අපි නොදැනම ලොකු ණය කාරයෙක් වෙන්න පුලුවනි. අනික මාස 36ක් කියන්නෙ විශාල කාලයක්. ඒ කාලය පුරාම මාසෙන් මාසෙට කැපෙන මුදල කාඩ්එක වෙනුවෙන් ගෙවන්නත් ඕන. වැරදිලාවත් පරක්කු වුනොත් පාඩුව විඳින්න වෙන්නෙ වියදම් කරපු මුදලට වඩා වැඩි මුදලකින් ණය කාරයෙක් වෙලා.

ඒ නිසා අපි ඩෙබිට් කාඩ් දෙනකොට කියන දේට සමාන දෙයක් ක්‍රෙඩිට් කාඩ් වෙනුවෙනුත් කියන්න වෙනවා. ඩෙබිට් කාඩ් එකෙන් වෙන්නෙ අපේ අතේ තියෙන මුදල් වැය කිරීමක්. ක්‍රෙඩිට් කාඩ් එකෙන් වෙන්නෙ අතේ නැති මුදලක් මවා වියදම් කිරීමක්. ඒ නිසා විශ්වාසය මත මේ කාඩ්පත වෙනත් කිසිම කෙනෙකුට නොදී සිටීම වගබලාගැනීමෙන් තමන්ගේ මුදල් ආරක්ෂා කරගතහැකියි. මොකද බොහෝවිට සල්ලි කියන් මිතුරන් නෑදෑකම් නැතිකරන්න පුලුවන් දෙයක්. 

පරණ කියමනකුත් තියෙනවානෙ " ණයට දීමෙන් මුදලත් මිතුරාත් නැතිවේ " කියලා..

Sunday, October 16, 2011

නිව්ටන් පොල්ගහක් යට ඉන්නෙ නැතුව ඇපල්ගහක් යටටම වෙලා හිටියෙ නිව්ටන්ගෙම වෙලාවට තමයි.

ඇපල් ගහක් යටට වෙලා හිටපු නිව්ටන් ගෙ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුන නිසා ගුරුත්වාකර්ෂණය හොයා ගත්තලු.

හොඳ වෙලාවට ඒ ඇපල්ගෙඩිය නිව්ටන්ගෙ ඔලුවටම වැටුනෙ. ඒ වගේම නිව්ටන් පොල්ගහක් යට ඉන්නෙ නැතුව ඇපල්ගහක් යටටම වෙලා හිටියෙ නිව්ටන්ගෙම වෙලාවට තමයි.

නිව්ටන් ඉපදුනේ හරි ජීවත්වුනේ හරි ලංකාවෙ වුනානම් නිව්ටන්ට සොරිම තමයි. මොකද අපේ රටේ ඇපල්ගස් තියෙනවා කියලායැ. ඒ වගේම ගහක්යටට වෙලා ඉන්න තරම් නිදහසක් තියේවියැ නිව්ටන්ට වුනත්.

බැරිවෙලාවත් ඇපල්ගෙඩිය ඔලුවට නොවැටී අතට වැටුනනම්, නිව්ටන් ඇපල්ගෙඩිය කාලා තමන්ගෙපාඩුවෙ අනුන්ගෙ වැඩක් බලාන ඉඳීවි.

එහෙම වුනානම් කොහෙන්ද අපිට ගුරුත්වාකර්ෂණය කියලා දෙයක්..?
Related Posts with Thumbnails